අධි ප්‍රෝටීන් අඩංගු ආහාර වැළදීමෙන් වකුගඩු රෝග ඉහළ යන බව නවතම පර්යේෂණයක් මගින් සොයාගෙන තිබේ. ස්පාඤඤ විද්‍යාඥයින්ද පවසන්නේ අධිප්‍රෝටීන අඩංගු ආහාර මගින් වකුගඩුවල ගල් හටගැනීමේ රෝගයද ඉහළ යෑමේ අවදානමක් පවතින බවයි. මෙයට හේතුව වන්නේ ශරීරයේ පවතින මුත්‍රාවල සිට්රේට් ලවනය අඩුවිමයි. මෙම ලවනය මගින් කැල්සියම් ලුණු ස්ඵටික වීම එනම් ගල් බවට පත්වීම වළක්වයි.

කැල්සියම් වකුගඩුවල ගල් සැදීමේ ප්‍රධාන සංඝටකය වෙයි. එමෙන්ම කැල්සියම් මගින් මුත්‍රාවල පී.එච්. අගය ඉහළ දමනු ලබන අතර ඒ හේතුවද වකුගඩු ගල් ඇතිවීමේ ප්‍රධාන සාධකයකි. ග්‍රැනඩා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් මීයන් යොදාගනිමින් කරණ ලද පර්යේෂණයකදි ඔවුන්ට ප්‍රෝටීන අධික ආහාර දෙනු ලැබුහ. මෙම මීයන්ගෙන් දස දෙනෙකුට සියයට 45ක් ප්‍රෝටීන් ප්‍රතිශතයකින් යුත් ආහාර දෙන ලදී. එමෙන්ම තවත් මීයන් දස දෙනෙකුට සාමාන්‍ය ආහාර වේල් දෙන ලදී.

පර්යේෂකයන් පවසන්නේ මේ පරීක්ෂණය සති දොළහක කාලයක් කළ බවයි. මීයකු හා මිනිසකු සැසදීමේදී මීයාගේ සති දොළහ මිනිසකුගේ වසර නවයකට සමාන වෙයි. මෙහිදී සොයාගනු  ලැබුවේ අධිප්‍රෝටීන ආහාර ලබාදුන් මීයන්ගෙන් ශරීරයේ බර  සියයට දහයක පමණ අඩුවී ඇති බවයි.  කෙසේ නමුත් මෙම මීයන්ගේ රැධිරයේ අඩංගු කොලෙස්ටරෝල් ප්‍රමාණයේ හෝ රැධිරයේ මේද ප්‍රමාණයේ අඩුවක් නොවීය. එමෙන්ම සොයාගෙන ඇත්තේ මෙම මීයන්ගෙන් සියයට 88 ක් මුත්‍රාවල සිට්රේට් ලවන ප්‍රමාණය අඩුවී තිබූ අතර සියයට 15 ක් ප්‍රමාණයක් මුත්‍රාවල ආම්ලිකතාවය ඉහළ ගොස් තිබිණි. මෙහි තේරුම නම් වකුගඩුවල ගල් හටගැනීමේ අනතුර ඉතාමත් ඉහළ බවයි. මෙම පර්යේෂණයේ ප්‍රතිපල අනුව පර්යේෂකයන් යෝජනාකර සිටින්නේ අධිප්‍රෝටීන ආහාරයට ගන්නා මිනිසුන් ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවයි.

වෛද්‍ය වර්ජිනියා ඇපරිසියෝ මේ සම්බන්ධයෙන් පවසන්නේ මෙම ආහාර  හේතුවෙන් ඇතිවන සමහර සෞඛ්‍ය ගැටළු පලතුරු සහ එළවළු ආහාරට ගැනීමෙන් මඟහරවා ගත හැකි බවයි.