වරෙකට වැඩ දහසකුත් එකක් කිරීමේ හැකියාව අතින් කාන්තාවන් ඉදිරියෙන් සිටින්නේ යැයි සමාජයේ පවතින මතය විද්‍යාත්මකවම තහවුරු කිරීමට ඇමරිකාවේ පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත්වූහ.

තරුණ කාන්තාවන් හා පිරිමින් 949 දෙනෙකුගේ මොළ  එම්.ආර්.අයි පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් ලබා ගත් දත්ත සටහන් අධ්‍යනය කිරීමෙන් මේ බව සොයාගැනීමට මෙම පර්යේෂක පිරිසට හැකිව ඇතැයි සදහන්ය.

එම දත්ත සටහන් වලට අනුව කාන්තාවන්ගේ මොළයේ දකුණු හා වම් අර්ධ ගෝලයන් හොදින් එකිනෙක හා සම්බන්ධ වී ඇති බවත් පිරිමින්ගේ මොළයේ ඒ සම්බන්ධය එතරම් හොදින් නොමැති බවත් පර්යේෂක පිරිස සොයාගෙන ඇත.නමුත් පිරිමි මොළයේ පසුපස හා ඉදිරිපස කොටස් කාන්තා මොළයට වඩා හොදින් එකිනෙක හා සම්බන්ධ වී ඇතැයි පර්යේෂක පිරිස පවසයි.

කාන්තාවන්ගේ මොළයේ අර්ධ ගෝල 2 හොදින් සම්බන්ධ වී පැවතීම නිසා ඔවුන්ට තර්කන ශක්තිය මෙන්ම නිර්මානශීලී හැකියාවද එකවර ක්‍රියාවේ යෙදවීමට,වැඩ කටයුතු දෙක තුනක් එකවර කිරීමට,කලකට පෙර හදුනාගත් පුද්ගලයෙකුගේ අලගිය මුලගිය තැන් අද දිනය දක්වාම මතකයේ තබා ගැනීමට ආදී හැකියාවන් ලැබී ඇති බව පර්යේෂකයන් කියයි.

පිරිමින්ට මොළයෙහි පසුපස හා ඉදිරිපස කොටස් හොදින් සම්බනධ වී තිබීමෙන් ලැබී ඇත්තේ සංකීර්ණ වැඩකටයුතු වල සාර්ථකව නියැලීමේ හැකියාව බව පැවසේ.හදිසි අවස්ථාවකට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව,රථ වාහන ධාවනය,යතුරුපැදි හා පාපැදි ධාවනය,පිහිනීම වැනි ක්‍රියාකාරකම් වලදී කාන්තාවන් අභිබවා යාමටත් මෙම සම්බන්ධතා නිසාවෙන් ඔවුනට හැකියාව ලැබී ඇතැයි පර්යේෂක පිරිස පවසයි.

නමුත් වාසනාවකට හෝ අවාසනාවකට හෝ බහුකාර්යය සාධන හැකියාව පිරිමින්ට ලැබී නැත.සමාජයේ පොදු මතයක්ව පැවතුනු මෙය දැන් විද්‍යාත්මකවම තහවුරු කෙරී ඇති සෙයකි.