මහා භාරතයේ කන්හේරි ගල්ගුහාව පුරාවිද්‍යා රක්ෂිතයකි. මහා රාස්ට්‍රා ප්‍රාන්තයට අයත් තානේ දිස්ත්‍රික්කයේ පිහිටි මේ ගල් ගුහාව එදත් අදත් පින් බිමකි. රහතන්වහන්සේලාගේ පා පහස ලක් උත්තරීතර ස්ථානයකි. තානේ සිට බොරිවිල් නගරයට මෝටර් රථයෙන් යෑමට පැයක් පමණ ගතවේ. බොරිවිල් නගරයේ ඇති සංජය ගාන්ධි ජාතික වන උද්‍යානයට අප ඇතුළු වූයෙමු. එහි සිට කිලෝමීටර් පහක් පමණ ගිය පසු කන්හේරි ගල් ගුහා පෙදෙස හමුවේ. අපට මග පෙන්වන්නා රියදුරු අනිල්ය.

‘‘මහත්තෙලා ඔහොම ඉන්න හැබැයි කතා කරන්න එපා. මම ටිකට් අරන් එන්නම්‘‘ ටිකට් කවුළුව අසලදී අපට කතා කරන්න එපා කිව්වේ මන්ද? අප පුදුම වූයෙමු.

‘‘මම ටිකට් ගත්තා. මම ඔයාලට කතා කරන්න එපා කිව්වේ එහෙම උනොත් ඔයාලා විදේශිකයෝ කියලා ඒ අය දැනගන්නවා. එතකොට එක්කෙනෙකුට රුපියල් 100ක් ගෙවන්න ඕනෑ. අපේ රටේ කෙනෙකුට රුපියල් 10යි. ඔයාලා අපි වගේමනේ ඒ හින්දා රුපියල් දහයෙන් ශේප් වුණා.‘‘ අප ඔහු කළ දේ අනුමත නොකළත් සිදුවූ දේ සිදුවී හමාරය. විශාල ජනකායක් මැදින් අප ඉදිරියට ගමන ඇරඹුවෙමු. 

ඉහළට ගියපසු විශාල ගල් ගුහා තුනකි. මීටර් 40ක් පමණ ගල් කුහරය තුළ ගලින් නෙලන ලද මීටර් හයක් පමණ උසැති විශාල දාගැබකි. ගුහාවේ දෙපස ඉහළත් පහළත් යා වෙන පරිදි ගල් කණු රාශියක් නෙලා තිබේ. ඉන්දියාවේ පැරණි විශ්මිත ගල් වඩුවන් අතින් නිමවුණු මනරම් ගල් දොරටුවකින් ඇතුළු වන දෙවන ගුහාවද එතරම්ම විශාලය. දොරටුවෙන් ඇතුළු වූ සැනින් මීටර් හතක් පමණ උසැති හිටි පිළිම දෙකක් ගල දෙපසින් නෙලා තිබේ. තවත් බුදු පිළිම රාශියක් ගලේ නෙලා ඇති අයුරු දැක ගත හැකිය. බුදු පිළිම පසුකොට ගුහාවට ඇතුළු වූ පසු රහතන් වහන්සේලා එකතුවී ධර්ම සාකච්ඡා කළ ධර්ම ශාලාව හමුවේ. තුන්වන ගුහාවේ කුඩා දාගැබකි. මෙම ගුහා තුන ගල් ගුහා සංකීර්ණයේ ප්‍රධාන විහාරස්ථානය වශයෙන්  රහතන් වහන්සේලා විසින්  පාවිච්චි කර ඇතැයි මගපෙන්වන්නා වූ අනිල් අප සමග පැවසිය.

එතැනින් ඉහළට ගියපසු රහතන් වහන්සේලා වැඩසිටි ගල් ගුහා 109 හමුවේ. ඒවා එකින් එකට වෙනස්ය. ගුහාවෙන් ගුහාවට රහතන් වහන්සේලාට වැඩම කිරීම සඳහා ගලමත ගල් පඩිපෙලවල්ය. විශාල ගල මත තට්ටු දෙකක් ආකාරයට ගල් ගුහා නෙලා තිබේ. අවසාන ගල් ගුහාවද ධර්ම ශාලාවකි. එහි ඉහළින් සිතුවම් කර ඇති බුදුරුව ගල් ගුහා මෙන්ම වසර 2400කට වඩා පැරණි බව කන්හේරි ගල් ගුහා සංකීර්ණයේදී අපට හමු වූ ඉන්දියානු පුරාවිද්‍යා නිලධාරියකු වන සන්ජේ බන්දෙකා මහතා පැවසිය. හැබැයි මේ සිතුවම කුමක් හෝ හේතුවක් නිසා එදා ඉවරකරගන්න බැරිවෙලා තියෙනවා. ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේවා රැක ගන්න විශාල කැපකිරීමක් කරනවා. මෙතන ගොඩක් පිරිසුදුව තියෙනවා වගේම දුම්පානය සපුරා තහනම්. හැබැයි මේ ස්ථානය රෑට චීටන්ගේ හා කොටියන්ගේ රජ දහනක්. අපි ලෝකෙට බලවතෙක් වුනේ අපිට තියෙන මේ වටිනා අතීතය නිසා. ඒ වගේම ගල් කටුව අපේ ජාතික සන්කේතය කරනවා නම් මම ගොඩාක් කැමති. බන්දෙකා මහතා වැඩිදුරත් එසේද කීය.

IMG_7160 IMG_7181 IMG_7207

IMG_7208 IMG_7209 IMG_7211 IMG_7212 IMG_7214 IMG_7216