මාලදිවයිනේ ආරක්ෂක සේවා වැඩිදියුණු කිරීම සදහා අවැසි දැනුම හා උපදෙස්,පුහුණු කිරීම්,හා පහසුකම් සදහා ශ්‍රීලංකාවේ සහය පතන බව එරට ජාතික ආරක්ෂාව පිළිඹද අමාත්‍ය කර්නල් මොහොමඩ් නසීම් කියයි.

ඔහු මේ බව පැවසුවේ මාලදිවයිනේ නිල සංචාරයක් සදහා එහි ගොස් සිටි ශ්‍රිලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති හමුවකදීය.

එහිදී ඔහු මාලදිවයිනේ ආරක්ෂක අංශ වල කටයුතු සම්බන්ධයෙන්ද ජනපතිවරයා දැනුම්වත් කළේය.

ආරක්ෂක අංශ කටයුතු සම්බන්ධයෙන්ද දෙරට අතර ඇතිවන සබදතා වලින් රටවල් දෙකටම වාසි සැළසෙනවා සේම එය කලාපීය ආරක්ෂාව වෙනුවෙන්ද වැදගත් වන බව මොහොමඩ් නසීම් මහතා පෙන්වා දුන්නේය.

මුහුදේ අනතුරට ලක්වන්න් සොයා ගැනීමේ හා ගලවා ගැනීමේ මෙහෙයුම්,ආපදා කළමණාකරණය,සාගර දූෂණය පිටුදැකීම, ආදී කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මාලදිවයිනට ශ්‍රීලංකාවේ සහය බෙහෙවින් අවැසි වන්නේ යැයි හෙතෙම කීය.

තවද ශ්‍රිලංකාවේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලැබීමට මාලදිවයිනේ ආරක්ෂක අංශ සාමාජිකයින්ට අවස්ථාව සළසා දෙන්නැයිද ඔහු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.

මාලදිවයින් හමුදා භටයින් වෙනුවෙන් වෛද්‍ය සායනයන් පැවැත්වීම,මාලදිවයින හා ශ්‍රීලංකාව ආශ්‍රිත මුහුදු තීරයේ ආරක්ෂාව වැඩිදියුණු කිරීම,දෙරටේ බුද්ධි අංශ අතර සහයෝගීතාවය වර්ධනය කිරීම වැනි කටයුතු සදහාද ශ්‍රීලංකාවේ සහය පතන බව ඔහු පැවසීය.

රාජ්‍යයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි විවිධාකාරයේ අතපෙවීම් මර්ධනය කිරීමට මාලදිවයින විශේෂ බල ඇණියක්ද පිහිටුවා ඇතැයි අමාත්‍ය මොහොමඩ් නසීම් මහතා ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ හෙළි කළේය.එම බළ ඇණිය සදහා ගුවන්යානා පැදවීමේ හා ගුවන් සටන් පුහුණුව ලබා දිය හැකිදැයි ඔහු විමසා සිටි අතර ජනපතිවරයා ඊට කැමැත්ත පළ කළේය.

මාලදිවයිනේ වෙරළාරක්ෂක බලකාය වෙනුවෙන් බෝට්ටු තනා ගැනීම සදහාද ශ්‍රීලංකාවේ සහය ලබාගැනීමට අපේක්ෂාකරන බව මොහොමඩ් නසීම් මහාතා පැවසීය.ඒ සදහා ශ්‍රීලංකා මහ බැංකුවෙන්ම ණය පහසුකම් ලබාගැනීමට ඇති හැකියාව සොයාබලන ලෙස හෙතෙම ජනපති මහින්ද රාජපක්ශ මහතාගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රීලංකා විදේශ අමාත්‍ය ජී.ඇල් පීරිස්,උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක,ජනපති ලේකම් ලලිත් වීරතුංග,මාලදිවයිනේ ශ්‍රීලංකා මහකොමසාරිස් ඩික්සන් ඩෙලා බණ්ඩාර, යන මහත්වරුන්ද හමුවට එක්ව සිටියහ.