කියුබාවේ හැවනා අගනුවරට ආසන්න කුඩා නගරයක් වන සැන්දියාගෝ ඩෙ ලාස් වේගාස් හි වැසියෝ පසුගියදා පණ පිටින් මිනිසෙක් වළ දැමූහ.මුහුණ විවර වනසේ සකස් කර තිබූ මිනී පෙට්ටිය ඔවුහු මිනී වළකට දැමූයේ විළාප නගමිනි.අනතුරුව ඒ මත පස්ද ඉස ඔවුන් සැරසුණේ එය වළලෑමටය.

නමුත් එක්වනම ඔවුන් අතුරෙන් නැගෙන්න ගත්තේ පී‍්‍රති ඝෝෂාවකි.මිනී පෙට්ටිය යළිත් ගොඩට ගත් ඔවුහු එහි සිටි පුද්ගලයා පිටතට ගෙන ඔහුව මත්පැනින් නහවා නගරයට ගෙන ගියේ ජයගොස නඟමිනි.මෙය සැන්දියාගෝ ඩෙ ලාස් වේගාස් නගරයටම ආවේණික වූ චාරිත‍්‍රයකි.මරණය හා යළිත් ජීවිතය ලැබීම මෙයින් නිරූපණය වේ.

අති දුෂ්කර දිවි පෙවතක් ගෙවන නගර වැසියන්ට මෙය ජීවිතය ගැන අලූත් හැගීමක් ගෙන දෙන්නේ යැයි සදහන්ය.

අවමගුලක් නිරූපණය කෙරුණද වැසියන් හැසිරෙනුයේ ඔවුන් උත්සවයකට සහභාගී වන්නා සේය.නගරයේ වීදි පුරා සරන ඔවුහු නටමින් ගයමින් පී‍්‍රතිද වෙති.

පණ ඇති මිනිසෙකුගේ මරණය සම්බන්ධයෙන් ශෝක වීම එම පුද්ගලයාට කරනා අගෞරවයක් නොවන්නේයැයි මෙහි වැසියන් දරන අදහසයි.ජීවිතයේ අභියෝග හමුවේ වැටුණද යළි යළිත් නැගිටීම මෙම චාරිත‍්‍රයෙන් නිරූපණය කෙරෙන්නේයැයි ඔවුහු පවසන්නෝය.