තම ජීවිතය අනතුරේ බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කියයි.

තම ජීවිතේ අනතුරේ වැටුණත්, පාකිස්තානයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමන් අවසන් මොහොත තෙක් සටන් කරන බව හෙට (3) දිනයේ විශ්වාසභංග ඡන්ද විමසුමට මුහුණ දෙන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අවධාරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය ඉම්රාන් මෙසේ පැවැසුවේ පාකිස්තානයේ 'ඒ.ආර්.වයි.' රූපවාහිනී නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

තම ජීවිතයට අනතුරක් ඇතැයි ඔප්පු කිරීමට තමන්ට ප්‍රබල සාක්ෂි ඇති බව ද ඉම්රාන් ඛාන් සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලි කළේය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ පාකිස්තාන විපක්ෂ සන්ධානයේ ප්‍රධාන දේශපාලන බලවේගය වන 'පාකිස්තාන ජනතා පක්ෂය' මැදිහත් වීමෙනි.ෙ

විශ්වාසභංගයට හේතුව පාකිස්තානයේ වත්මන් ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වගකිවයුතු බවට විපක්ෂය චෝදනා නගන බැවිනි.

මේ වනවිට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පාකිස්තාන ජාතික සභාවේ බහුතරය ද අහිමි වී ඇත.

තමන්ට සහාය දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට ඉදිරිපත් වෙන්නැයි වීදි බැස විපක්ෂයට එරෙහි වෙන්නැයි ද ඉම්රාන් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

(එන්.ඩී.ටීවී.)