කියුබාවේ සංචාරයකට පැමිණි, 16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමන් පෙරේදා (28) ෆිදෙල් කස්ත්‍රෝ හමුවූ අවස්ථාවේදී, ඇමෙරිකාව කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක විවේචනය කරමින් එතුමන් කියා සිටියේ එමගින් කියුබානුවන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇති බවය. රෝගාතුරුව සිටින ෆිදෙල් කස්ත්‍රෝ (85) සහ පාප්තුමන් අතර එම සුහඳ හමුව පැවැත්වූයේ පාප්තුමන්ගේ කියුබා සංචාරයේ අවසන් අදියරේදීය. කියුබානුවන්ගේ මූලික අයිතිවාසිකම්වලට සහ ඔවුන්ගේ නිදහසට ගරු කරමින් කටයුතු කරන්නැයි පාප්තුමන් ෆිදෙල් කස්ත්‍රෝගෙන් ඉල්ලා සිටියේය. පාප්තුමන්ගේ සහ වතිකානුවේ කටයුතු ගැනත් ජාත්‍යන්තර කටයුතු ගැනත් ඇමෙරිකාවේ සම්බාධක ගැනත් කස්ත්‍රෝ සහ පාප්තුමන් අතර කතාබහට ලක් වූ බව වතිකානුව නිවේදනය කළේය. අසනීප තත්ත්වය මුල්කොට ගනිමින් කස්ත්‍රෝ පාලන කටයුතුවලින් ඈත්ව සිටින්නේ ඔහුගේ සොයුරු රාවුල් කස්ත්‍රෝට බලය පවරා දීමෙන් පසුවය. කියුබාවට පැමිණි පාප්තුමන් හරසරින් පිළිගනු ලැබුවේ රාවුල් කස්ත්‍රෝ විසිනි. පාප්තුමන් කියුබානුවන් වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් ද පැවැත්වීය. කස්ත්‍රෝ, 1959 වසරේදී ඇමෙරිකා හිතවාදී ෆුල්ජෙන්සියෝ බැටිස්ටා බලයෙන් නෙරපා කියුබාවේ කොමියුනිස්ට් රාජ්‍යයක් බිහි කිරීමෙන් පසු ඇමෙරිකා කියුබා සබඳතා මුළුමනින්ම බිඳ වැටුණි. ඇමෙරිකාව කියුබාවට එරෙහි ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනැවූයේ 1960 වසරේදීය. කියුබාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්නේ නම් සම්බාධක වහා ඉවත් කරන බව ඇමෙරිකා ජනපති ඔබාමා පවසා ඇත. කස්ත්‍රෝ පාප්තුමන් හමුවෙමින්