බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනාට වහා ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින් එරට ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘බංග්ලාදේශ ජාතික පක්ෂය’ ඊයේ (29) පැවැත්වූ විරෝධතා රැලි දෙකකට පොලිසිය හරස් විය. පොලිසිය එල්ල කළ වෙඩි ප‍්‍රහාරවලින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ‘බංග්ලාදේශ ජාතික පක්ෂය’ එම විරෝධතා සංවිධානය කර තිබුණේ චන්ද්පූර් නගරයේ සහ ඩකා අගනුවරය. පොලිසිය පැවැසුවේ පන්සියයකට ආසන්න පිරිසක් ඊට සහභාගී වූ බවය. පොලිසියෙන් බාධා එල්ල වූ අවස්ථාවේදී කෝපයට පත්  ජාතික පක්ෂ කි‍්‍රයාකාරීන් පොලිස් නිලධාරීන් සමඟ ගැටුම් ඇති කර ගත් බවත් එහිදී සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ. බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය චෝදනා කරන්නේ බංග්ලාදේශ දැඩිමතධාරීන් සහ විදේශවල වෙසෙන කුමන්ත‍්‍රණකරුවන් රට අස්ථාවර කිරීමට උත්සාහ ගන්නා බවය. බංග්ලාදේශ රජය පෙරැළීමට  සැලැසුම් කළ හමුදා කුමන්ත‍්‍රණයක් ව්‍යර්ථ කිරීමටද අගමැතිනී හසීනාගේ රජය පසුගියදා සමත් විය.