දියවැඩියා කෝමා තත්ත්වයට ගොදුරු වී මරණය පෙනි පෙනී සිටි සිය පියාට නිවැරදිව එන්නත ලබා දුන් පස් හැවිරිදි දැරියක් බ්‍රිතාන්‍යයේ වීරවරියක වී සිටියි.

හෝලි ප්‍රයිස් නමැති මේ දැරිය සිය පියා සමග කන්ටිඩර්හැම් හි ස්ටැන්ලි නගරයේ ජීවත් වූවාය.

සිය කාමරයේ සිට විසිත්ත කාමරයට පැමිණි මේ දැරිය දැක ඇත්තේ සිය පියා සිහිසුන්ව මෙන් නිවසේ සෝපාව මත වැතිර සිටින ආකාරයයි. කලබල නොවූ දැරිය රුධිරයේ සීනි මට්ටම වැඩි කරන ග්ලූකොජන් නමැති එන්නත සීතකරණයෙන් ගෙන පියාගේ උදරයට එන්නත් කර ඇත.

පසුව මේ බව තම මවට ජංගම දුරකතනයෙන් දන්වා ඇති ඇය මව එන විට පරිගණක ක්‍රීඩාවක යෙදෙමින් සිට ඇත. මව පියාගෙන් වෙන්ව වාසය කරයි. හෝලි ගේ පියාවන බාර්කිස් මහතා අවුරුදු 33 ක් තිස්සේ දියවැඩියා තත්වය පාලනය සඳහා ඉන්සියුලින් භාවිතා කරන්නෙකි. බාර්කිස් පවසන්නේ තම දියණිය විසින් ඔහුව මරණයෙන් බේරා ගත් බවයි. තම දියණිය නොවන්නට සෝපාව මත අවසන් හුස්ම හෙලන්නට සිදුවන බව බාර්කිස් කියයි.