ත‍්‍රස්තවාදය පිටුදැකීමට එකමුතුවී කටයුතු කළ යුතු යැයි පාකිස්තානයේ සංචාරයක යෙදුණු බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් පෙරේදා (30) ඉස්ලාමාබාද් නුවර දී එරට අගමැති නවාස් ෂරීෆ් හමුවෙමින් කීවේය.

බි‍්‍රතාන්‍ය අගමැති පාකිස්තානයට පැමිණියේ ඇෆ්ගනිස්තානයේ සංචාරයක් අවසන් කිරීමෙනි. අගමැති කැමරන් පාකිස්තානයට පැමිණියේ විශේෂ ආරක්ෂාවක් යටතේය. ඔහු ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට පාකිස්තාන අගමැති ප‍්‍රමුඛ රජය කටයුතු කළේය.

පාකිස්තාන අගමැති ෂරීෆ් සහ බි‍්‍රතාන්‍ය අගමැතිවරයා අතර සාකච්ඡා කෙරුණේ දිනෙන් දින උත්සන්න වන තලේබාන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙනි. තලේබාන් සටන්කාමීන්ගේ ‘ත‍්‍රස්ත කි‍්‍රයා’ ඇෆ්ගනිස්තානයට පාකිස්තානයට පමණක් නොව, බටහිර රටවලට පවා තර්ජනයක් බව රාජ්‍ය නායක දෙපළ ඒකමතිකව පිළිගත්හ.
අගමැති ෂරීෆ් තලේබාන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා තරයේ හෙළා දකී. නමුත් ඔහු තලේබාන් සංවිධානය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ලිහිල් ප‍්‍රතිපත්තියකි. ඔහු උත්සහ ගන්නේ තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමටය. තලේබාන්වරුන් ද සාම සාකච්ඡා පැවැත්වීමට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වේ.

අගමැති කැමරන් පාකිස්තානයට පැමිණෙද්දී, පාකිස්තානයේ නගර කිහිපයක බෝම්බ පිපිරීම් හතරක් සිදුවිය.
එයින් 53 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 51 දෙනෙක් තුවාල ලැබූහ. බෝම්බ පුපුරා ගියේ පෙෂවෝර්, මීර් අලී, වානා සහ ක්වෙටා යන නගරවලය.

බි‍්‍රතාන්‍ය අගමැති (වමේ) පාකිස්තාන අගමැති හමුවී