සිරුරේ තරබාරු බව ඇතිකරන අනවශ්‍ය මේදය මුත්‍රා සමගම පිටකර හැරිය හැකි ආකාරයට පත්කරවන එන්නතක් හදුන්වාදීමට බි්‍රතාන්‍යයේ මිල්ස් මෙඩිකල් සර්විසස් ආයතනය සමත්ව තිබේ.

ජලයෙහි දියවන, ශාක සාර වලින් සැදි සංයෝගයක් අඩංගු වන බව පැවසෙන මෙම එන්නතෙන් සිදුවනුයේ මේදය රුධිරයේ දිය කරවීම බව සදහන්ය.අනතුරුව වකුගඩු වලදී රුධිරය පෙරෙන විට එහි දියවී ඇති මේදය මුත්‍රා සමග සිරුරෙන් බැහැර වන බව නිර්මාපකයින් කියයි.

මෙම එන්නත සිරුරේ උදරය, කම්මුල්, කළවා, තට්ටම් ආදී ඕනෑම ස්ථානයකට එන්නත් කළ හැකියැයි සදහන්ය.

නිර්මාපකයින්ට අනුව තවදුරටත් තරබාරු බව අඩු කිරීමට දහඩිය වගුරුවාගෙන ව්‍යායාමයන්හි යෙදීම අවශ්‍ය නොවේ.

කෙසේනමුත් වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින් අතර නම් මෙම එන්නත ගැන එතරම් පැහැදීමක් නොමැත.

ඔවුන් පවසනුයේ රුධිරයේ මේදය දියකරවීම භයානක විය හැකි බවයි.එය සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම සීඝ්‍රලෙස ඉහළ යෑමට හේතුවක් වනු ඇතැයිද එය පසුව වෙනත් රෝගාබාධ ඇතිකරවනු ඇතැයිද ඔවුන් කියයි.

මෙයට පිළිතුරු දී ඇති මිල්ස් ආයතනය පවසා ඇත්තේ මේදය දිය කර හැරියද නිසි ආහාර රටාවක් අනුගමනය කිරීම හා ප්‍රමාණවත් තරම් ව්‍යායාමයන්ගේ යෙදීම එන්නත ලබා ගන්නා පුද්ගලයා කළ යුතුම වන්නක් බවයි.මෙම එන්නත නිපදවූයේ වැඩ පහසු කර දීමට මිස ලෙඩ වැඩිකර දීමට නොවන බව එම ආයතනය කියයි.