ධවල මන්දිරයට, ඇමෙරිකාවේ නන්දෙසින් පැමිණි දේවගැතිවරුන් 50 කට වැඩි පිරිසක් ධවල මන්දිරයේ දී, ඉරානය සමඟ යුද්ධයක පැටලී සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආශිර්වාද කළේය. 

දේවගැතිවරුන් මෙසේ ට්‍රම්ප්ට ආශිර්වාද කළේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදීය. මෙම අභියෝගාත්මක කාලසීමාවේ දී ජනාධිපතිවරයාට දෙවියන්ගේ මඟ පෙන්වීම සහ ප්‍රඥාව ලැබේවා යැයි දේවගැතිවරු ඉල්ලා සිටියහ.

ඉරානය සමග යුද්ධයක පැටලී සිටින ඇමෙරිකන් සෙබළුන්ගේත් ඇමෙරිකන් වැසියන්ගේත් ජීවිත ආරක්ෂා කර දෙන්නැයි ද දේවගැතිවරු පිරිස විශේෂ යාඥාවක නියැලුණාහ.

ධවල මන්දිරයට රැස්වුණු එම දේවගැතිවරුන් පිරිස ට්‍රම්ප්, ඇමෙරිකන් සන්නද්ධ හමුදාව සහ ඇමෙරිකන් වැසියන් වෙනුවෙන් යාඥා කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේවනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. දේවගැතිවරුන්ට නායකත්වය දුන්නේ ප්‍රධාන දේවගැති ටොම් මුලින්ස්ය.

දේවගැති ටොම් මුලින්ස් මාධ්‍ය හමුවේ කියා සිටියේ, දෙවියන් වහන්සේ යටතේ පවතින, බෙදිය නොහැකි යුක්තිය සහ නිදහස අගය කරන ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස ඇමෙරිකානුවන්ට ඉදිරියට යෑමට අවශ්‍ය ශක්තිය ලබා දීමත්, අභියෝග ජය ගැනීමට අවශ්‍ය කායික මෙන්ම මානසික ශක්තිය ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබා දීමත් පෙරදැරි කර ගනිමින් යාඥාව පැවැත්වූ බවය.