මේ දිනවල චීනයේ  බොහෝ ප‍්‍රදේශයන් වසාගෙන සිටින ඝන මීදුම් පටලය සතුරු රටකින් එල්ල වන අවි ප‍්‍රහාරයන් මැඩ පැවැත්වීමේ සමත් හොද ආවරණයකැයි චීනයේ නාවික හමුදාපති රෙයර් අද්මිරාල් සැන්ග් ෂා ඕස්හොන්ග් පවසයි.

චීනයට බලපා ඇති මේ මීදුම් තත්ත්වය මීදුම හා දුම් එකතු වී සෑදී ඇත්තක් බව සදහන්ය.එය සාමාන්‍ය මීදුමට වඩා ඉතා ඝන වන අතර ඉවත්ව යෑමක්ද පෙන්නුම් නොකරන බව චීන විද්‍යාඥයෝ කියති.මෙනිසා එය බලපා ඇති ප‍්‍රදේශයන් වලට හිරු එළිය පවා නොවැටේ.

මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතුව ලෙස  සැළකෙනුයේ වායු දුෂණයයි.ඉවක් බවක් නැතිව කර්මාන්තශාලා ඉදිකිරීම හා ඒවායේ කි‍්‍රයාකාරීත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස නිකුත් වන දුම් නිසි පරිදි බැහැර කිරීමේ කි‍්‍රයාපටිපාටියක් නොමැති වීම මෙයට හේතුවී ඇතැයි විද්‍යාඥයින් පෙන්වා දේ.

බීජිං නගරය මෙම තත්ත්වය වඩාත්ම බලපා ඇති ප‍්‍රදේශයයි.පිළියමක් ලෙස නගරයේ කි‍්‍රයාත්මක කර්මාන්තශාලා 147 හි කි‍්‍රයාකාරීත්වය සීමා කිරීමට බළධාරීන් කටයුතු කර ඇතත් එයින් ඵලක් වී නොමැත.

නමුත් චීන නාවික හමුදාපති මෙය යහපත් තත්ත්වයක් ලෙස දකී.ඝන මීදුම් පටලය නිසා ප‍්‍රහාර එල්ල කිරීමට ඉලක්ක හදුනාගැනීමට නොහැකි වනු ඇතැයිද විශේෂයෙන් ඇමරිකාව ලේසර් කිරණ නිකුත් කරනා අවි භාවිතය අරඹා ඇති අවස්ථාවේ මෙය හොද ආරක්ෂක උපක‍්‍රමයක් යැයිද ඔහු කියයි.

ඔහුගේ ප‍්‍රකාශයට චීන ජනතාව නම් යහපත් ප‍්‍රතිචාර දක්වා නොමැත.හිරු එළිය නොවැටෙන,හුස්ම ගැනීම අපහසු කරවන ‘‘ආරක්ෂක උපක‍්‍රමයකින්‘‘ ඇති ඵලය කුමක්දැයි ඔවුහු විමසති.