චීනයේ ප්‍රථම සඳ ගවේෂක රොබෝ රෝවරය අද (2)  දිනයේදී සඳ මතට යන ගමන ආරම්භ කිරීමට නියමිතය.

මෙය වසර 40 කට පසු සඳ මතට යැවෙන ප්‍රථම රොබෝ රෝවරයයි.චීන ජන කතා වල එන ‘යුටු‘ නම් සාවෙකුගේ නමින් මෙම රොබෝ රෝවරය නම් කර තිබේ.රෝවරයට නම් තබා ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ කළ මත විමසුමකින් පසු වන අතර යුටු නමට වැඩිම කැමැත්ත ප්‍රකාශ වී තිබී ඇත.

රොබෝ රෝවරය සඳ මතට ගොඩබැස්වීම චීනය ක්‍රියාත්මක කිරීමට නියමිත සඳ මත ජනාවාස තැනීමේ වැඩසටහනක මුල් පියවරයි. මෙම ජනාවාස මෙහෙයුම් මධ්‍යස්ථාන ලෙස භාවිතා කරමින් ඉදිරි වසර 15 ඇතුළතදී අගහරු ග්‍රහයා මත ගවේෂණ ඇරඹීමට චීනය බලාපොරොත්තුවෙන් සිටින බව සදහන්ය.

‘යුටු‘ රොබෝ රෝවරය සඳේ ‘සයිනස් ඉරිඩම්‘ හෙවත් ‘දේදුනු බොක්ක‘ ආවාටය අසළින් ගොඩබැස්වීමට සැළසුම් කර ඇත.පෘථීවි දින 90 ක් පුරා සඳ මත සරමින් තොරතුරු එක්රැස් කර ගැනීමේ කාර්යයේ ‘යුටු‘ රොබෝ රෝවරය යෙදෙනු ඇත. සඳ මතුපිට මෙන්ම අභ්‍යන්තරයේත් ඡායාරූපයන් ගැනීම ‘යුටු‘ සතු වන රාජකාරියයි.

මින් පෙර අභ්‍යාවකාශයට ගගනගාමීන්, චන්ද්‍රිකා ආදිය යවා පළපුරුදු චීනය සද ජය ගැනීමට සැරසෙන්නේ ප්‍රථම වතාවටය. මෙම කර්තව්‍යයේදී යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියත් චීනය හා අත්වැල් බැදගෙන සිටී.