ඕස්ට්‍රේලියා යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට එහි නායකත්වය සඳහා කාන්තාවක් පත් කරන බව එරට රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මෙය එරට ආරක්ෂක අංශ නායකත්වයේ සිදු කළ ප්‍රධාන වෙනස්කම් මාලාවක කොටසක් ලෙසයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඕස්ට්‍රේලියා රජය නිකුත් කළ නිවේදනයකට අනුව, දැනට ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානී ලෙස කටයුතු කරන ලුතිනන් ජෙනරාල් සුසාන් කොයිල් එළඹෙන ජූලි මාසයේදී යුද හමුදාපති ධුරයට පත්වනු ඇති. ඇය ලුතිනන් ජෙනරාල් සයිමන් ස්ටුවර්ට් වෙනුවට එම ධුරයට පත්වීමට නියමිතය.

ඕස්ට්‍රේලියානු යුද හමුදාවේ වසර 125ක ඉතිහාසය තුළ ප්‍රථම වරට කාන්තා හමුදාපතිවරියක අපට ලැබෙනවා යැයි අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. ඕස්ට්‍රේලියා ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස්, කොයිල්ගේ මෙම පත්වීම සම්බද්ධයෙන් සතුට පළ කර ඇතැයි පැවැසෙයි.