එවරස්ට් කඳුමුදුනේ කැළි කසළ ගැටළුවට පිළියමක් වශයෙන් සෑම කදු නගින්නෙකුම එවරස්ට් කදු මුදුන තරණය කර යළිත් පහළට බසින විට තමන් බැහැර කළ අපද්‍රව්‍ය වලට අමතරව කදු මුදුනින් එකතු කර ගත් තවත් අපද්‍රව්‍ය කිලෝ 8 ක් පහළට ගෙන ආ යුතුයැයි නව නීතියක් පැනවීමට නේපාල බළධාරීන් කටයුතු කර තිබේ.

1953 දී එඞ්මන්ඞ් හිලරි හා ටෙන්සින්ග් නොර්ගේ එවරස්ට් කදු මුදුන ප‍්‍රථම වතාවට තරණය කළ පසු මේ දක්වා දහස් ගණනක් කදු නගින්නන් එවරස්ට් කදු මුදුන තරණය කර තිබේ.කදු මුදුන තරණය කළා සේම ඔවුන් කදු මුදුන තරම්ම වන කැළි කසළ කන්දක්ද ගොඩනගා පැමිණ ඇති බව කදු මුදුන ආශි‍්‍රත පරිසරය පිරිසිදු කිරීමේ යෙදෙන පරිසර ආරක්ෂක සංවිධාන කියයි.

2008 වසරේ සිට මේ දක්වා එවරස්ට් කදු මුදුනින් කැළි කසළ ටොන් 15 ක් පමණ ඉවත් කර තිබේ.තවත් ටොන් ගණනක කැළි කසළ ඉවත් කිරීමට තිබෙන බව සදහන්ය.

ඉවතලූ ආහාර කවර,මිනිස් මළ පහ පිරුණු බදුන්,කූඩාරම්,හිස් ඔක්සිජන් ටැංකි මෙම කැළි කසළ අතර වන බව පැවසේ.

නීතිය කඩ කරන්නන්ට දෙන දඩුවම කවරේදැයි මෙතෙක් නේපාල බළධාරීන් තීරණයක් ගෙන නොමැත.එය විශාල දඩයක් වනු ඇතැයි මත පළවේ.