කුඩා නාවික යාත‍්‍රා යොදා ගනිමින් ඉරාන නාවික හමුදාව ඇමෙරිකා යුද නැව්වලට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීමට සැරසෙන බව ඇමෙරිකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් මාක් ෆොක්ස් පවසයි. එම මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කරනු ඇත්තේ ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට කටයුතු කළහොත් ඊට එරෙහිව ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින ඇමෙරිකා යුද නැව්වලටය. මේ වනවිටත් තම දැවැන්ත යුද නැව් ගල්ෆ් මුහුදේ සීරුවෙන් තැබීමට ඇමෙරිකාව කටයුතු කර ඇත. ගල්ෆ් කලාපයේ රටවල තෙල් අපනයන කටයුතු බහුලව සිදුවන්නේ ඉරානය අසල පිහිටි හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේය. එම සමුද්‍ර සන්ධිය වසා දමා එම තෙල් අපනයන කටයුතුවලට බාධා කරන බවට ඉරානය තර්ජනය කර තිබේ. ඒ, ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් එක්වී ඉරානයට එරෙහිව සම්බාධක පැනැවීම නිසාය. ඉරානය එසේ කළොත් ඇමෙරිකා නාවික හමුදාව ඉරානයට පහර දෙන බවත් ඇමෙරිකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඇමෙරිකාවේ ෆොක්ස් නිවුස් පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින් ප‍්‍රකාශ කළේය. ”ඉරානය ඔවුන් සතුව ඇති සබ්මැරීන 10 ක් මේ වනවිටත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගල්ෆ් මුහුදට යවා තිබෙනවා. නාවික යාත‍්‍රාවලට අමතරව ඔවුන් කුඩා ප‍්‍රමාණයේ බෝ්ට්ටු මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීමට යොදා ගන්නා බවට අපට තොරතුරු ලැබී තිබෙනවා” යැයි වයිස් අද්මිරාල්වරයා වැඩි දුරටත් කියා සිටියේය. ඊට අමතරව දිගු දුර සහ කෙටි දුර මිසයිල ද ඉරාන නාවික හමුදාව සතුව ඇතැයි ඇමෙරිකන් නාවික හමුදාව වැඩි දුරටත් කියා සිටියි.