
ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
තෙහෙරාන් අගනුවර රහස් සථානයක කළු වීදුරුවලින් ආවරණය කරන ලද මෝටර් රියකින්, ආරක්ෂක අංශ නිලධාරීන් පිරිවරාගෙන ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී පැමිණි බවත්, ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන්, මෝටර් රථය අසලට ගොස් ඔහු හමුවුණු බවත් පැවැසෙයි.
කෙසේ නමුත් ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමින්, මොජ්ටාබා කමේනීට සමීප වීමට හෝ අතට අත දීමට හෝ ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන්ට අවස්ථාව ලැබී නැත.
එම හමුවේ දී ඇමෙරිකාව සමග පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් උත්තරීතර නායකයා, ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන්ට අවසන් නියෝගයක් නිකුත් කළ බව ද මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ, ඇමෙරිකාව සමග පැවැත්වෙන සාකච්ඡාවලින් පලක් නොවන්නේ නම්, සාකච්ඡා වහා නවත්වන ලෙසටය.
ඇමෙරිකාව ගැන හෝ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන හෝ විශ්වාසය තැබීම කළ නොහැකි බව ද ඉරාන උත්තරීතර නායකයා අවධාරණය කළ බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටී. මෙම අවසන් නිවේදනයත් සමග ඉරාන දේශපාලනයේ නොසන්සුන්තාවක් හටගෙන ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.
ඉරාන උත්තරීතර නායකයා සිටින්නේ එරට ජනාධිපතිවරයාට ඉහළිනි. වත්මන් ඉරාන ජනාධිපති ලෙස කටයුතු කරන පෙසෙෂ්කියන්, දැඩිමතධාරියකු නොව මධ්‍යස්ථමතධාරියෙකි. පෙසෙෂ්කියන් උත්සාහ ගනිමින් සිටින්නේ සාකච්ඡා මාර්ගයෙන් ඉරාන ඇමෙරිකා අර්බුදය සමතයකට පත්කර ගැනීමටය.
සාම සාකච්ඡා සඳහා කැමැත්තෙන් පසුවුවත් ඇමෙරිකාව අවස්ථාව උදා වුවහොත් මොජ්ටාබා කමේනී ඝාතනය කිරීමට පසුබට නොවනු ඇත. මොජ්ටාබා කමේනී සහ පෙසෙෂ්කියන් අතර හමුව දැඩි ආරක්ෂක රැකවල් මැද රහසේ සිදුවූයේ ඒ නිසාය.
මේ අතර, හෝමුස් සමුද්‍රසන්ධිය නාවික ගමනාගමනය සඳහා යළි විවෘත කිරීමට කමන් ඕමානය සමග එකඟතාවකට පැමිණි බව
ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි පවසා ඇත. ඕමානය සමග ඇති කරගත් එකඟතා ගිවිසුම ඵලදායී වෙමින් පවතින බවය.
කෙසේ නමුත් ගිවිසුමට අදාළ වැඩි විස්තර මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැත. ඕමානය සමඟ ඇති කරගන්නා මෙම ගිවිසුම හරහා පමණක් හෝමුස් සමුද්‍රසන්ධිය ඔස්සේ ආරක්ෂිත නාවික ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහවුරු කළ නොහැකි බව ද බගායි පැහැදිලි කර තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරාන වරායන් වටලා සම්බාධක පැනවීම හේතුවෙන් කලාපීය නාවික ආරක්ෂාවට තවදුරටත් බාධා එල්ල වී ඇති බව ඔහු පෙන්ව දී ඇත. කෙසේ නමුත් මෙම නව යෝජනාව සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය හෝ ඕමානය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd