ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්ව දර්ශකයේ 30 වැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වි ඇතැයි ඒඩියුකේෂන් ෆස්ට් වෙබ් අඩවිය කියයි.

ස්විට්සර් ලන්තය මූලික කර ගෙන පවතින එඩියුකේෂන් ෆස්ට් ආයතනයට සම්බන්ධ මෙම වෙබ් අඩවිය  මඟින් ලොව පුරා වැඩිහිටියන්ගේ ඉංග්‍රීසි භාවිතා කිරිමේ හැකියාව සලකා මෙම දර්ශකය සකස් කරයි.

මෙම සමීක්ෂණයට ඉංග්‍රීසි භාෂාව මව් භාෂාව නොවන රටවල් 60ක් යොදා ගෙන ඇති අතර එහිදි ලකුණු 68.69 ලබාගනිමින් ස්වීඩනය ප්‍රථම ස්ථානයේද ලකුණු 66.60 ලබාගනිමින් නෝර්වේ රාජ්‍යය දෙවන ස්ථානයද ලකුණු 66.19 ලබාගනිමින් නෙදර්ලන්තය තුන්වන ස්ථානය ද දිනාගැනීමට සමත්ව ඇත.

මෙම දර්ශකයේ රටවල් ඉතා ඉහළ ප්‍රවීණතාවය,ඉහළ ප්‍රවීණතාවය,මධ්‍යම ප්‍රවීණතාවය,පහළ ප්‍රවීණතාවය සහ ඉතා පහළ ප්‍රවීණතාවය ලෙස වර්ග කර ඇති . ශ්‍රී ලංකාව අයත්ව ඇත්තේ පහළ ප්‍රවීණත්වයක් ඇති කාණ්ඩයටය.

ස්වෙඩනය,නෝර්වේ රාජ්‍යය,නෙදර්ලන්තය,එස්තෝනියාව,ඩෙන්මාර්කය,ඔස්ට්‍රියාව හා ෆින්ලන්තය යන රටවල් ඉතා ඉහළ ප්‍රවීණත්වයක් සහිත රටවල් අයත් කාණ්ඩයට ඇතුළත් වී  ඇත.

මෙම දර්ශකයේ ශ්‍රී ලංකාවට ලකුණු 51.47ක් හිමිව ඇති අතර ඉන්දියාව ලකුණු 54.38ක් ලබා 21 වන ස්ථානයේද චීනය ලකුණු 50.77 ක් ලබා 34 වන ස්ථානයේද පසුවෙයි.  දර්ශකයේ අවසාන ස්ථානයේ පසුවන්නේ ලකුණු 38.16ක් ලබා සිටින ඉරාකයයි.