වයසට යද්දි වඩාත් ශක්තිමත් හා ක්‍රියාශීලී වන සතුන් මෙන්ම කිසිදා මිය නොයන සතුන් ද දැනට මිහිතලයෙන් හමුවි ඇති බැවින් අමරණීයත්වයේ සිහිනය යම් දිනක සත්‍යයක් වනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

ඔවුන් පෙන්වා දෙන්නේ මිරිදියේ වසන බහුපා ඇති සත්ත්වයෙක් අමරණීය සතකු ලෙස හඳුනාගෙන ඇති බවයි. අන්වීක්ෂයකින් නිරික්ෂණය කළ හැකි සිලින්ඩරාකාර සිරුරකින් සමන්විත මේ සත්ත්වයාට ග්‍රාහිකාවලින් පිරුණු මුඛයක් පිහිටා තිබේ. මේ සත්ත්වයා කිසි දිනෙක වයසට යාමේ ක්‍රියාවලියට හසු නොවන බව ද පර්යේෂකයන්ගේ මතයයි.

බහුසෛලීයතාවයෙන් යුක්ත මේ විශේෂය වයසට ගිය ද ‍වයස නොපෙනෙයි. එමෙන්ම මැරී යන බවක් ද නැත.

විද්‍යාඥයන් පවසන්නේ ක්ෂීරපායී විශේෂ 46ක්, පැලෑටි, දිලීර සහ ඇල්ගී , මිනිසා සහ කුරුල්ලන් ආදී සතුන් වයසට යාම පිළිබඳ පරීක්ෂණ කළ බවයි. මිනිසුන්, වෙනත් ක්ෂීරපායීන් හා කුරුල්ලන් වයසට යාමේ දී දුර්වල වුව ද ඉබ්බන් වයසට යද්දි වඩාත් ශක්තිමත් වන බව ද ඔවුන්ගේ නිගමනය වි ඇත.

දකුණු ඩෙන්මාර්ක සරසවියේ පරිනාම විද්‍යාව පිළිබඳ ජීව විද්‍යාඥයකු වූ ආචාර්ය ඔවන් ජොන්ස් පවසන්නේ වයසට යාම පිළිබඳ ව යළි සළකා බැලිය යුතු බවයි. වයසට යාම අවශ්‍යයෙන්ම සිදුවිය යුතුයැයි පිරිසක් සිතා සිටිය ද එය සිදු නොවන අවස්ථා ද තිබෙන බව හෙතෙම පවසයි. ඊට හොඳම උදාහරණයක් ලෙස ඔහු ගෙනහැර දක්වන්නේ ඉබ්බා වයසට යද්දී දක්වන ශක්තිමත් බවයි.

වයසට යාම පිළිබඳ පර්යේෂණයේ නිරත වූ ජොන්සන් මහතා ඇතුළු කණ්ඩයාම විශාල ඕක් ගසේ සිට මුහුදු පැලෑටි, වටපණුවන්, උකුස්සන්, සිංහයන් සහ බැබුන් ඇතුළු විශාල සතුන් ද අපෘෂ්ඨ වංශිකයන්, ක්ෂුද්‍ර ජීවීන් හා ඇල්ගී වර්ග ද පර්යේෂණ සඳහා යොදා ගෙන තිබේ. පර්යේෂක කණ්ඩායම පවසන්නේ මොවුන්ගේ විවිධත්වය විශාල සේම , ඉන් මියයන සංඛ්‍යාව හා ආකාරය ද පුදුම සහගත බවයි.

පිරිසිදු මිරිදියේ ජිවත් වන බහුපා සත්ත්වයා හෙවත් හයිඩ්‍රිලා විශෙෂය විනාශ වී යාම හෝ මිය යැම ඉතා අඩු අගයක් ගන්නා බව පෙනීගොස් ඇත. කෙසෛ් වෙතත් එම දත්ත පෙන්වාදෙන්නේ අනාගතයේ මිනිසාට අමරණීයත්වයට පත්ව සිටීමේ හෝ මිය යාම සියවස් ගණනාවක් කල් දැමීමට හෝ මේ සතුන්ගේ ජාන සැකස්ම හා සිරුරේ රසායනිකයන් මහෝපකාරී වනු ඇති බවයි.