එක්සත් රාජධානියේ බහුවිධ පෙදෙස්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට, ලාංකීය ශිල්පීන්ගේ සංගීත ප්‍රසංගයක් නැරඹීමට නම් ලන්ඩනයටම යායුතුය. එතෙක් මෙතෙක් ලන්ඩනයෙන් ඔබ්බෙහි ප්‍රසංගයක් සංවිධානය කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවූයේ එයින් ඇතිවිය හැකි මූල්‍යමය පාඩුව නිසා ම පමණක් නොව, සංවිධානාත්මක වශයෙන් එවැන්නක් කිරීමට තිබූ බාධාවන් නිසාය. මේ සියලු අවදානමක්ම බාර ගනිමින් ලන්ඩනයෙහි වාර්ෂිකව පැවැත්වෙන 'ගී අමා' ප්‍රසංගයේ දිගුවක් ලෙස 'රිදී රේඛා' ප්‍රසංගය පළමු වරට සැප්තැම්බර් 20 වැනි ඉරිදා බර්මින්හැම් විශ්වවිද්‍යාලයීය 'එල්ගා(ර්)' ප්‍රසංග ශාලාවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් සහ විශාරද සුනිල් එදිරිසිංහයන් සමග වේදිකා ගතවිය.

එක්සත් රාජධානියේ මිඩ්ලන්ඩ්ස් ප්‍රාන්තයේ සහ දුර බැහැර පෙදෙස් හි වෙසෙන සුභාවිත සංගීතයේ රස මිහිර විඳින්නෝ ශාලාව වෙත මුළු දුන්නේ ප්‍රසංගයේ ස්වභාවය පිළිබඳ කුතුහලයෙනි. තමන් පිවිසුනේ මව් බිමේ ප්‍රසංග වේදිකාවකට දැයි සිතෙන අන්දමේ වේදිකා නිර්මාණය අසිරිමත් විය. සරල විය. සමස්ථ ප්‍රේක්ෂකාගාරයම එකම සමාධියකට රැගෙන යන්නක් විය. වේදිකාවට පළමුවෙන් සපැමිණි ආචාර්ය වික්ටර් රත්නායකයන් අසුන් ගැනීමත් සමග, ලාංකීය සුභාවිත සංගීතයේ පතාක යෝධයෙක්ගේ අති සමීපයේ සිට සිව් දශකයක් පුරා නිර්මාණය වුණු ගීත සජීවීව රස විඳීමට හැකි වීමෙන් අමන්දානන්දනයට පත්වූ ප්‍රේක්ෂකයාට අත්පොලසන් දීමට පවා අමතක විය.

විශාරද සුනිල් එදිරිසිංහයන් වේදිකාවට පිවිසුණේ ඉන් අනතුරුවය. ඉතා නිවුණු ස්වරයෙන් තම අත්දැකීම් මේ සීතල එංගලන්තයේ හුදකලාව වෙසෙන ලාංකීය සහෘදයන් හා උණුසුම්ව බෙදා හදා ගනිමින් හෙතමේ ද, තම ගී මුතු පෙළ එකින් එක මුදා හළේය.

හරියට ම පැයක ප්‍රමාදයෙන් ප්‍රසංගය ආරම්භ වූ බැවින් විවේක කාලයක් ලබා නොගෙන ම ප්‍රසංගය පැවැත්වීමට ශිල්පීන් තීරණය කිරීම, ප්‍රේක්ෂකයාට තවත් නවමු අත්දැකීමක් විය. ගලන ගඟක් සේ සුමිහිරි වූ ගීතාවලියකට සජීවීව සවන්දීම - නැරඹීම කවර නම් අපහසුවක් ද...! මහා ඝාන්ධර්වයින් දෙදෙනා එකිනෙකට නොදෙවෙනි අර්ථයෙන්ද රසයෙන්ද අනූන ගීත ගායනයට යොමුවුනේ මේ මොහොතේදීය. ලාංකීය ප්‍රසංග වේදිකාවකදී වත් දකින්නට නොලැබෙන ඒ අසිරිමත් දර්ශනයෙන් සමස්ථ ප්‍රෙක්ෂකාගාරය ම කුල්මත් වූ බවට නම් සැක නැත.

'රිදී රේඛා' ප්‍රසංගය වාද්‍ය වෘන්දයේ හැකියාවන් ද ඉස්මතු කර දක්වන ලෙස සැලසුම් කර තිබීම තවත් විශේෂත්වයක් විය. මහේන්ද්‍ර පැස්කුවෙල්ගේ ගිටාරයත්, ප්‍රියන්ත දසනායකගේ බටනලාවත්, නිහාල් කළුබෝවිලගේ තබ්ලාවත්, රුක්ෂාන් ගුණවර්ධනගේ වයලීනයත්, රන්සිත් මුද්දුවගේ සිතාරයත්, තම සදාදරණිය මව් බිම වෙත ප්‍රේක්ෂකයා රැගෙන ගියේ කිසිදු වෙහෙසකින් තොරවය. එතුළින් මතුවූ ස්වරයන් ප්‍රේක්ෂකාගාරයේ සෑම තැනකට ම එකම අයුරින් ශ්‍රවණය වන ලෙස නාද සංයෝජනය කර තිබීම කෙතරම් අපූරුද...! එකිනෙකාට නොදෙවෙනි ලෙස සංගීත රසය ලබාදීමට අජුල ගුණසේකර, ටිරෝන් එමරල්ඩ්, ප්‍රසාද් ඕලැන්ඩෝ, නුවන් පෙරේරා, සංජීව ගුණසේකර සමත්වූ බව සටහන් නොකළහොත් එය එම දක්ෂ ශිල්පීන්ට කරන මහත් අසාධාරණයකි.

වෘත්තීය සංගීතවේදීන් සිව් දෙනෙක් (04) පමණක් රැගෙන මහා බ්‍රිතාන්‍යයට පැමිණ, එහි නොයෙක් වෘත්තීන්හි නියෙලිමින් දිවි ගෙවන තවත් සහෘදයන් සය (06) දෙනෙක් එක් කර ගනිමින් හා පුහුණු කරමින් මේ රසය බෙදාදීමට මූලික වූවෝ, නව පරපුරේ සංගීතවේදී සුරේෂ් මාලියද්දය. ඔහු ඒ සඳහා කළ කැප කිරීම් 'රිදී රේඛා' ප්‍රසංගයේදී නිම්නාද විය. ඊටම සරිලන ලෙස මංජු මුණසිංහ සංගීත සංයෝජනයෙන් දායක විය.

'රිදී රේඛා' ප්‍රසංගයේ අනෙක් සුවිශේෂ ම කරුණ වන්නේ එහි සියලු කටයුතු බර්මින්හැම්හි වෙසෙන ලේල්වල පවූලේ සාමූහික ප්‍රයත්නයක් වීමය. සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රසංග වලදී හමුවන 'සංවිධායක මණ්ඩලයක්' එහි නොවීය. වරුණ ලේල්වල සිය බිරිඳ හා දරු දෙදෙනා ද සමග මෙම ප්‍රසංගයේ සියලු කටයුතු ඉටු කරන්නට යෙදිණි. ඒ අනුව සියලු ප්‍රචාරක ග්‍රැෆික් හා වීඩියෝ නිර්මාණ පමණක් නොව, ප්‍රවේශ පත්‍රයද නිර්මාණය කළෝ ඔවුන්මය. අලංකාර වේදිකා නිර්මාණය ද ඔවුන්ගේ නිවසේදීම නිර්මාණය විය. වේදිකා ආලෝකකරණ සැලසුම ද, ප්‍රසංගයේ පිටපත හා කථනය ද ඔවුන්ගේය. වැදගත් ම කරුණ වන්නේ මේ සියල්ලක් ම සුභාවිත රසාස්වාදනය තහවුරු කිරීම සඳහා එකසේ දායක වීමය.

මේ කාර්යය සාර්ථක කරගැනීමෙහිලා ස්වේච්ඡාවෙන් දායක වූ සියලුම දෙනාට ශ්‍රී ලාංකික සංගීත රසකාමීන්ගේ නොමද ප්‍රසංසාව හිමිවනු ඇත. මීළඟ 'රිදී රේඛාව' බර්මින්හැම්හි දිස්වන දිනය දක්වා රසකාමී ලාංකිකයන් බලා සිටින බව නම් නිසැකය.

ridirekha_2015105 ridirekha_2015105-2 ridirekha_2015105-3 ridirekha_2015105-4 ridirekha_2015105-5 ridirekha_2015105-6