එච්.අයි.වී. ආසාදිත දරුවකුට භාවිත කළ සිරින්ජරයක් සහ බෙහෙත් කුප්පි යළි යළි භාවියට ගැනීමෙන්, පාකිස්තානයේ රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තවත් දරුවන් 331 දෙනකුට එච්.අයි.වී. ආසාදනය වී ඇතැයි බීබීසී පුවත් සේවය අනාවරණය කරයි.

එච්.අයි.වී. වයිරසය ආසාදනය වී ඇත්තේ පකිස්තානයේ තවුන්සා පිහිටි ටීඑච්කියු රජයේ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි දරුවන් යැයි ද පැවැසෙයි. ඒ, 2024 නොවැම්බර් සහ 2025 ඔක්තෝබර් අතර කාලයේය. සිද්ධියට අදාළව පුළුල් විමර්ශනයක් පැවැත්වුණු බවත්, එච්අයිවී ආසාදිත දරුවකු සඳහා භාවිත කළ සිරින්ජර් සහ බෙහෙත් කුප්පි තවත් දරුවන් සඳහා යොදා ගන්නා අයුරු රෝහලේ ආරක්ෂක කැමරාවල සටහන් වී ඇති බවත් අනාවරණය වී තිබේ.

විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ සිරින්ජරයක ඉඳිකටුව පමණක් මාරු කළ ද, එහි බඳ කොටසේ වයිරසය රැඳී තිබිය හැකි බැවින් එය නැවත භාවිත කිරීම මාරාන්තික බවය.

එච්අයිවී යනු මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ප්‍රහාර එල්ල කරමින් ලෙඩ රෝගවලට එරෙහිව සටන් කරන සුදු රුධිරාණු විනාශ කරන වයිරසයයි. ඒඩ්ස් යනු එම වයිරසය හේතුවෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දැඩි ලෙස දුර්වල වීම නිසා ඇති වන රෝගී අවස්ථාවය.