IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


දුප්පතා අසරණ කරන වකුගඩු ජාවාරම

බියකරු මෙන්ම ම්ලේච්ඡ ජාවාරමක් සම්බන්ධ පුවතක් අප පුවත්පත නොබෝදා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ වකුගඩුවකට රුපියල් කෝටි එක හමාරක් දෙන බව පවසා දිළිඳු පවුල්වල පුද්ගලයන්ගෙන් වකුගඩු ලබාගෙන මුදල් නොදී වංචාකර ඒවා ලොකු මිල ගණන්වලට දේශීයව හා විදේශීයව විකුණා ඇතැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කළ බවයි.

‘රෝහල’ යන්නට දිය හැකි එක් සරල නිර්වචනයක් වන්නේ ‘රෝග අත්හළ ස්ථානය’ යන්නය. එබඳු ගරු කටයුතු ස්ථානයක මෙබඳු ම්ලේච්ඡ ජාවාරම් සිදුවන්නේද යන්න පිළිගැනීමට අපහසු තරමේ කාරණාවකි. එහෙත් එය එසේ සිදුවී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාස, කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරිපිට කරුණු අනාවරණය කර ඇත.

එම කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ කොළඹ නගරයේ දිළිඳු පවුල් ඉලක්ක කරමින් සිදුකෙරෙන මෙය ජාලගත වකුගඩු ජාවාරමක් බවත් වකුගඩු ලබාදී වංචාවට හසුවූ පුද්ගලයන් පස්දෙනකු තම කොට්ඨාසයට පැමිණිලි කර ඇති බවත්ය. මෙම වංචාවට හසුවූ පස්දෙනා අතර වයස අවුරුද්දක දරුවකුට කිරි දෙන මවකද සිටින්නීය. මෙම පැමිණිලි කළ පුද්ගලයන් පස්දෙනාට අමතරව තවත් විශාල පිරිසක් වංචාවට හසුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ජාලගත වකුගඩු ජාවාරමක් සම්බන්ධ පුවතක් අප රටින් වාර්තාවන්නේ පළමු වතාවටය. එක් පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක මෙම වකුගඩු දායකයන් සම්බන්ධීකරණය කර ඇත. ඔවුන් දෙදෙනාට දිළිඳු පුද්ගලයන් යොමුකර තිබෙන්නේ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මුදල් ලබාදෙන බව පවසා රැවටූ පුද්ගලයන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල්වලට යොමුකර පරීක්ෂණ සිදුකර ඇත. ඉන් පසුව බොරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලේදී අදාළ සැත්කම් සිදුකර ඇත.

මෙබඳු පුවත් කියවනවිටදී දුප්පත්කම කොතරම් ශාපයක්ද යන්න වටහා ගැනීම අසීරු නැත. එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ 2021 වසරට වඩා 2022 වසරේදී වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය සියයට 15 කින් වැඩිවී ඇති බවය. වියපත් ස්වාමියා සමග ජීවත්වූ අරණායක ප්‍රදේශයේ වියපත් මවක විෂ ශරීරගත කර දිවි නසා ගැනීමේ ප්‍රවෘත්තියද නොබෝදා අප පුවත්පතේ වාර්තාකරන ලද්දකි. අරණායක මාතාව එසේ දිවි නසාගෙන තිබෙන්නේ ආර්ථික අපහසුතා නිසා ජීවත්වීමට නොහැකි නිසා යැයිද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

රටේ ඇත්තේ බරපතළ ආර්ථික පීඩනයකි. මෙම ආර්ථික පීඩනයෙන් හෙම්බත්ව සිටින ජනයා තම ශරීර අවයව හෝ විකුණා පණ නල ගැටගසා ගැනීමට උත්සාහ කරති. ආර්ථික සුළිය තුළ තම දරුවන්ගේ කුස ගින්දර නිවා ගැනීමට මේ මහ පොළොව තුළ කළ හැකි යමක් වේනම් එය කිරීමට අපේක්ෂාවෙන් පෙළෙන පිරිස්ද සිටිති. ජාවාරම්කරුවන් දැළ එළන්නේ එසේ මනුෂ්‍යත්වයේ අසරණකම තුළ දිගාවී සිටින මිනිසුන්ටය.

කොළඹ පදිංචි සාතිශය බහුතරයක් ජනයා අඩු ආදායම්ලාභීහු වෙති. කිසි ලෙසකින් හෝ මිනිස් වාසයට සුදුසු නැති අපිරිසුදු බිම් තීරුවල නිවාස යැයි හඳුන්වන මඩුවක් තුළ දිවිගෙවන පිරිස් අති විශාලය. කොළඹ වතු නිවාසවල ජනයා ජීවත්වන්නේ සෞඛ්‍යය බිංදුවටම පිරිහී ගිය භූමි තුළය. ඔවුන්ගේ ජීවිතවලට අලුත් බලාපොරොත්තු ඇතිකර ගැනීමට තරම් යහපත් පරිසරයක් නැත. එබඳු අලුත් බලාපොරොත්තුවක් ඇතිකර ගැනීමට හැකි එකම මග වන්නේ තම ශරීර අවයව විකිණීමය. ජාවාරම්කරුවන්ගේ පහසු ගොදුරු බවට පත්වන්නේ මෙම පරිසරය තුළය.

දැඩිව අවධාරණය කරගත යුතු කරුණක් වන්නේ දිළිඳු බවින් බැටකන ජනයා ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මහා මාෆියා බිහිවී ඇති බවය. බොරැල්ලෙන් අනාවරණය කර ගැනීමට හැකිවී තිබෙන්නේ එබඳු මාෆියාවක ජාවාරමක්ය. මෙම ජාලගත වකුගඩු ජාවාරම මිනිස් ජාවාරමෙන් කිසි ලෙසකින් හෝ වෙනස් නොවන්නකි. එහෙයින් මෙම ජාවාරම්කාර මාෆියාකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුය. එම දුප්පත් ජනයාට සාධාරණය ඉටුවන්නේ එමගින් පමණි.

(***)



අදහස් (0)

දුප්පතා අසරණ කරන වකුගඩු ජාවාරම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 363 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2162 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1640 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site