
තේ කර්මාන්තය අප රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයකි. ක්‍ෂණිකව සිදු කළ කාබනික පොහොර ව්‍යාපෘතිය නිසා තේ කර්මාන්තය හතර ගාතෙන් වැටුණේය. කොවිඩ් වසංගතයත් සමග තත්ත්වය තවත් බැරෑරුම් විය.
ඒ සියල්ලම ඉතිහාසයට අයත් දේය. තේ කර්මාන්තය යළිත් අළු ගසා නැගී සිටියේ පසුගිය වසරේදීය. එම නැගි සිටීම 2019 වසරත් සමග සන්සන්දනය කිරීමේ දී මනාව කැපී පෙනේ.

වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ 2019 වසරේදී තේ දලු කිලෝවකට ලැබුණේ රුපියල් 85ක් බවයි. එහෙත් පසුගිය වසරේ දී දලු කිලෝවකට ගෙවන මුදල රුපියල් 360 දක්වා ඉහළ ගිය බව ඔහු කීවේය.
මෙය ඉතා යහපත් තත්ත්වයකි. මෙම තත්ත්වය දිගටම පවත්වාගෙන යා හැකි නම් මේ කර්මාන්තය සවිමත්ව පවත්වාගෙන යාමට එය මනා පිටිබලයකි. එය එසේ වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේ දී තේ කර්මාන්තයට වර්තමානයේ අත් වී ඇති ඉරණම අනාවරණය කළේය.
ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ කුඩා තේවතු හිමියන්ගේ අමු තේ දලුවලට ලැබෙන මිල ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බැවින් කුඩාතේ වතු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවය. මේ වනවිට දලු කඩන අයට ගෙවා පොහොර දැමු විට කර්මාන්තය පාඩු ලබන තැනකට පැමිණ ඇති බවත් කුඩා තේවතු හිමියන් වතුවලින් දලු කැඩීම අතහරින තැනකට පත්ව ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබිණි.
ජනතාවට සෘජුව බලපාන ප්‍රශ්න අභියෝග සාකච්ඡාවට බඳුන්වන තැනක් බවට පාර්ලිමේන්තුව පත්විය යුතු වුවද බොහෝ විට එහි සිදුවන්නේ රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවට තරම් නොවන තුට්ටු දෙකේ සංවාදයයි. පෞද්ගලිකව සිදුකරන ආක්‍රෝෂ පරිභවයන්ය.
එම පරිසරය තුළ රටේ ආර්ථිකයටත් තේ කර්මාන්තයේ යෙදෙන අති විශාල පිරිසකටත් බලපාන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කතා කිරීම ගැන ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයාට ප්‍රණාමය පිරිනැමිය යුතුය. මන්දයත් එබදු සංවාද පාර්ලිමේන්තුව තුළ අතිශයින්ම විරළ හෙයිනි.
කුඩා තේ වතු හිමියන් මුහුණ දී සිටින ඉරණම සුළුවෙන් ගෙන පහසුවෙන් බැහැර කළ නොහැකිය. මෙම කර්මාන්තය මත යැපෙන පවුල් සංඛ්‍යාව ලක්‍ෂ ගණනකි. රටට බරක් නොවී රටේ ආර්ථිකයට යහමින් සම්මාදන් වන කුඩා තේ වතුහිමියන් මුහුණ දී ඇති ප්‍රශ්නය නිවැරදිව වටහා ගනිමින් කඩිනමින් විසඳුම් ලබා දිය යුතුය.
කුඩා තේ වතු හිමියන්ගේ ප්‍රශ්නයට ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා විසඳුමක් ද ඉදිරිපත් කර තිබේ. මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ මුහුණ දී තිබෙන විදේශ විනිමය ගැටලුව තව දුරටත් තීව්‍ර වන්නට පෙර සෙස් අරමුදල වැනි අරමුදලක් පාවිච්චි කර කුඩා තේ වතු ආරක්‍ෂා කර ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කරන ලෙසය. කඩිනමින් ක්‍රියා මාර්ග නොගතහොත් විසඳාගත නොහැකි ගැටලුවක් ඇතිවන බව ද ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබිණි.
තේ කර්මාන්තයට සම්බන්ධ දිස්ත්‍රික්කයක් නියෝජනය කරන වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා කුඩා තේ වතු හිමියන් මුහුණ දී සිටින ගැටලුවට හේතුව අනාවරණය කර තිබිණි. අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ ගිය වසරේ තේ නිෂ්පාදනය අඩුවීම නිසා මිල ඉහළ ගිය අතර ගිය වසරේ දී තේ නිෂ්පාදනයෙන් ඩොලර් කෝටි 180ක් ලැබුණූ බවය.
එහෙත් මේ වසරේ තේ නිෂ්පාදනය වැඩිවීම නිසා දලු මිල යම් පමණකට අඩුවන බවත් ගිය වසරේ ඩොලරයේ වටිනාකම ඉහළ ගිය නමුත් ඩොලරයේ මිල අඩුවන විට ඒ හා සාපේක්ෂව අපනයනය සඳහා ලැබෙන මිලත් අඩුවන බවද රමේෂ් පතිරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණ.
කුඩා තේවතු හිමියන් මුහුණ දී සිටින ගැටලුවත් එයට හේතුවත් ඉතා පැහැදිලිය. දැන් අවශ්‍ය වන්නේ ගැටලුව තව දුරටත් වර්ධනය වීම අවසන් කර කඩිනමින් විසඳුමක් සැපයීමය.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වලේබොඩ මන්ත්‍රීතුමා කියන්නේ සහතික ඇත්ත.. අද මට අහන්න ලැබුණා තේදළු කිලෝවක් සඳහා ලැබෙන මුදල රුපියල් 150/=ක් තරමට බැහැලා කියලා. එයින් දලුකඩන්න කිලෝවක් සඳහා රුපියල් 50/= සහ කෑම සමග තේ සපයන්නත් වෙනවා. ඊළඟට පොහොරමිල යම් පමණකින් අඩුවුණත් ඉඩම් එළිපෙහෙළි කරන්න වියදම් වුණාම කිලෝවක් සඳහා වියදම් රුපියල් සියයක් ඉක්මවා යනවා... අත්දැකීම් අනුව කියන්නේ... ඉතින් කුඩා තේ වතු හිමියන්ට සහනයක් නැත්නම් ප්‍රශ්නයක් ඇතිවෙනවා තමයි. කොහොම වුණත් වැවිලි ඇමැතිගේ ප්‍රකාශය කැබිනට් එකේ සාමූහිකත්වය රැකීමට කිව්වත් ඒ කතාව හරි කියලා කියන්න බැහැ...
කුඩා හෝ මහාපරිමාණ තේ වතු හිමියන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න නම් ගොඩක් අය ඉන්නවා. ඒත්, තේ වතු කම්කරුවන්ගේ ගැටළු ගැන කතාකරන්න නම් බල්ලෙක්වත් නැහැ. ඕනෑම කර්මාන්තයක් දියුණු වෙන්න නම් එහි සේවකයින්ට සාධාරණ වැටුපක් ගෙවන්න ඕනෑ. එහෙම නැති නම්, ඒ කර්මාන්තයට වගතුවක් වෙන්නේ නැහැ. එදා සුද්දෝ "සිලෝන් ටී" නමින් අපේ තේ ලෝක ප්‍රසිද්ධ කළා. ඒත්, මේ රටේ කළු සුද්දන්ට ඒ ලෝක ප්‍රසිද්ධ සන්නාම නාමයේ කීර්තියවත් තබා ගන්න මේ වනවිට නොහැකිවී තිබෙනවා. සුද්දන්ට බනින මෝඩ සිංහලයින්ට, සුද්දෝ මෙරටට දායාදකළ සියල්ල වැනසී යාමට වැඩි කලක් ගත නොවනු ඇත...
බද්රානි, ලංකාවෙන් "සිලෝන් ටී" නම ගැලවිලා දශකයකට වැඩියි දැන්. වෙන රටවල් කිහිපයක් ඒ මාකට් එක අල්ලලා. ඒ සමගම ලෝකයේ (එංගලන්තේ හා මැද පෙරදිග සැහෙන්න වේගයකින් කොපිවලට හුරුවෙමින් පවතිනවා. දැන් ලෝකයේ වැඩිම තේ මාකර්ට් එක තියෙන්නේ දැන් ලෝකයේ ලොකුම තේ මාර්කට් එක තියෙන්නේ චීනේ හා ඉන්දියාවේ. චිනේ තේ කියන්නේ ලංකාවේ වගේ හදන බ්‍රවුන් ටී හො බැල්ක් ටී නොවේ. ඉන්දියාවේ මාර්කට් එක තනිකරම වගේ යන්නේ එහෙ තේවලින්. වර්තමානයට එන්න කාලේ හරි දැන්. හොයලා බලන්න කෙන්යාව, ඉන්දියව, චීනේ වගේ රටවල් කොහොමද තේ කඩන්නේ කියලා. මිනිස්සු අතිත් තේ කඩපු යුගය ඉවර වෙලා ගොඩක් කල් දැන්. සරලවම, මේ කර්මාන්තය දැන් ලෝකෙන් අඩුවේගෙන යන එකක්. ඉතිරිවෙලා තියෙන ටිකත් මිනිස් ශ්‍රමය අවමයෙන් පාවිච්චි කරන තත්වවලට වෙනස් වෙමින් යනවා...
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මැදිහත් වීමෙන් දළු නෙලන මහත්ම මහත්මීන් හට දළු කැඩීම පිළිබඳ පුහුණුවක් හෝ උපදෙස් මාලාවක් ලබාදිය යුතුවේ. ඔවුන් කිසිදා දළු කැඩීමට පුහුණු වී නැති අයවන අතර පුරුද්ද අනුව හොඳින් දළු ඇදෙන තෙක් කල්මරාගෙන ඉඳලා දළු කැඩුවාම ඊළඟ සතියට දළු නැතිවමත් නෙලන ලද දළුවල ගුණාත්මක භාවය අඩුවීමත් සිදුවේ. එබැවින් නිසි පරිදි දළු නෙලීමේ අත්පත්‍රිකාවක් හෝ මුද්‍රණය කර ලබාදෙන ලෙස විශේෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ කුඩා තේ සංවර්ධන අධිකාරියෙන් ඉල්ලමි...