IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ඔබේ සමීපතමයන් දිට්වා නිසා මියගිය බව දනිතත් තවම අතුරුදන් ලැයිස්තුවේද ?

ස්වභාවික විපත්තියකින් අතුරුදහන් වූ තැනැත්තෙකු සම්බන්ධයනේ මරණ සහතිකයක් ලබා ගත හැකිද? ඊට කෙටි පිළිතුර හැකිය යන්නයි. මේ කාර්යය කෙසේද කෙරෙන්නේ යන්න ගැන අප මේ ලිපියෙන් සාකච්ඡා කරන අතර දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට ලක්වූවන් වෙනුවෙන් සුනාමි (විශේෂ විධිවිධාන) පනත වැනි පනතක අවශ්‍යතාවයද අප පෙන්වා දෙන්නෙමු. මෙවැනි පනතක් නොමැතිව අතුරුදන් වූවන්ට පමණක් නොව ආපදාවට ලක්ව ජීවත්ව සිටින්නන්ටද ඉක්මනින් සාධාරණයක් ඉෂ්ට කර ගැනීම අසීරු වනු ඇත. බොහෝ අවස්තාවල ඔබේ සමීපතමයන් මිය ගිය බව ඔබ දැන සිටියත් මෘත ශරීර නොලැබී මරණය තහවුරු කර ගත නොහැකි නිසා නීතිමය කටයුතුවලදී ඔබට බාධා ඇති විය හැකිය. 

අතුරුදහන් වූ තැනැත්තෙකු මියගිය අයකු ලෙස ලියා පදිංචි කිරීමට (උප්පැන්න හා මරණ පිළිබඳ) රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත බලය ලබා දී තිබෙන්නේ 2010 අංන 19 දරණ මරණ ලියා පදිංචි කිරීමේ (තාවකාලික විධිධාන) පනතෙනි. එම පනත 2016 අංක 16 දරණ පනතින් සංශෝධනය කර එහි නාමය “මරණ සහ අතුරුදහන් වී ඇති තැනැත්ත්න ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) පනත යනුවෙන් වෙනස් කර තිබේ.

 

පනතේ අරමුණු

එම පනතේ ප්‍රධාන අරමුණු වන්නේ,

(අ)       ත්‍රස්තවාදී හෝ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් හෝ ජන කැළඹීම් හේතුවෙන් අතුරුදහන් වී ඇති තැනැත්තන්ගේ මරණ ලියා පදිංචි කිරීම,

(ආ)      ස්වභාවික ව්‍යසන හෝ විපත්ති හේතුවෙන් අතුරුදහන් වී ඇති තැනැත්තන්ගේ මරණ ලියාපදිංචි කිරීම,

(ඇ)      උතුරු හා නැගෙනහිර පළාත්වල ගැටුම්, දේශපාලනික නොසන්සුන්තා හෝ සිවිල් කැරලි කෝලාහල හෝ බලහත්කාරයෙන් අතරුදහන් කිරීම්වල ප්‍රතිථලයක් වශයෙන් අතරුදහන් වී ඇති තැනැත්තන් ලියාපදිංචි කිරීම සම්බන්ඳ විදිවිධාන සැලැස්වීම වේ.

මෙම ලිපිය ස්වභාවික ව්‍යසන හෝ විපත්ති හේතුවෙන් අතරුදහන් වී ඇති තැනැත්තන්ගේ මරණ ලියා පදිංචි කිරීමට අදාල කාරණාවලට සීමා කර තිබේ.

ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදශෙයක් බවට ප්‍රකාශ කිරීම

පනතේ 9 වන වගන්තියේ මෙසේ සඳහන් වේ.

“මුළු ශ්‍රී ලංකාවට ම හෝ ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට හෝ ජීවිත හානි හෝ දේපළ හානි සිදු කර ජාතික මට්ටමෙන් බැරෑරුම් විපාක ඇති කළ ස්වභාවික ව්‍යසනයක් හෝ විපත්තියක් ශ්‍රී ලංකාව තුල සිදු වී ඇත්තා වූ ද, ඒ ව්‍යසනයේ හෝ විපත්තියේ ප්‍රතිථලයක් ලෙස මරණයට පත් වූ තැනැත්තන්ගේ මරණ සිදු වූ අවස්ථාවේ ස්වභාවය හේතුවෙන් ඒ තැනැත්තන්ගේ මරණ ලියාපදිංචි කිරීමේ දී උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ විදිවිධාන අදාළ කර ගැනීම ප්‍රායෝගික නොවූ අවස්ථාවක දී, එම ස්වභාවික ව්‍යසනය හෝ විපත්තිය සිදු වී තිබෙන බව සනාථ කර ගැනීමෙන් පසු, රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින්, අවස්ථාවොචිත පරිදි, ඒ ව්‍යසනයට හෝ විපත්තියට ගොදුරු වූ කවර හෝ පරිපාලන දිස්ත්‍රික්කයක්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් හෝ ග්‍රාම නිලධාරි කොට්ටාසයක්, “ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශයක්” බවට ප්‍රකාශ කල හැකිය.”

අතුරුදහන් වූ තැනැත්තා

පනතේ 10 වන වගන්තියට අනුව අදාල තැනැත්තා,

(අ)       රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කල ජාතික ව්‍යසන ප්‍රදේශයක් තුල වාසය කළ හෝ ඔහු වෙනත් ප්‍රදේශයක වාසය කලද, විපත්තිය සිදුවන අවස්ථාවේ දී ව්‍යසන ප්‍රදේශයකට ගොස් සිටි හෝ සිටි බව දන්නා අයකු විය යුතු ය.

(ආ)      එම ව්‍යසනයෙන් හෝ විපත්තියෙන් පසුව සොයාගත නොහැකිව තිබෙන හෝ එහි ප්‍රතිථලයක් වශයෙන් සත්‍ය වශයෙන් අතුරුදහන් වී තිබෙන අයකු විය යුතුය.

මරණ සහතකියක් සඳහා ඉල්ලුම් කල හැකි අය

අතුරුදහන් වී තිබෙන තැනැත්තාගේ (තැනැත්තන්ගේ),

(අ)       ලඟම ඥාතියෙකුට හෝ

(ආ)      එම තැනැත්තාගේ (තැනැත්තන්ගේ) පවුලේ කිසිම සාමාජිකයෙකු එම ව්‍යසනයෙන් දිවි ගලවාගෙන නොමැති විටක, ඒ තැනැත්තා හෝ තැනැත්තන් සම්බන්ඳයෙන් දැනීමක් ඇති අයෙකුට,

මරණ සහතිකයක් (සහතික) තමා වෙත නිකුත් කරන ලෙස ඉල්ලීමක් කල හැකිය. ඉල්ලුම් කරන්නා එසේ අතුරුදහන්ව හෝ සොයාගත නොහැකිව තිබෙන තැනැත්තා මියගොස් ඇති බව තරයේ විශ්වාස කරන්නෙකු විය යුතු ය.

ලඟම ඥාතියා යන්නට කාලත්‍රයා, දරුකමට හදාගත් ළමයින්, විවාහ නොවූ දෙමව්පියන්ගේ ළමයින් හෝ සුළු දරුවන් ඇතුලත්ව දරුවන්, දෙමව්පියන් (සුළු මව, සුළු පියා, දරුකමට හදාගැනීමට ලබා ගත් තැනැත්තා) පූර්ණ හෝ අර්ධ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ දරුකමට හදාගත් සහෝදරයන් හෝ සහෝදරියන්, මාමණ්ඩිය, නැන්දණිය, මස්සිනාවරුන්, නෑනාවරුන්, බෑණාවරුන්, ලේලිවරුන්, මුණුපුරු, මිණිබිරියන් සහ සීයලා සහ ආච්චිලා ඇතුළත් වේ (17 වගන්තිය).

ඉල්ලීම ඉදිරිපත් කල යුතු අය

සෑම ඉල්ලීමක් ම, එම අතුරුදහන් වූ තැනැත්තා පුරුද්දක් වශයෙන් වාසය කළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙත ඉදිරිපත් කළ යුතු ය.

එම ඉල්ලුම්පත කවර හෝ ආකෘතියකින් ඉදිරිපත් කළ  හැකිය. එහෙත් පනතේ (උපලේඛණයේ) දක්වා තිබෙන තොරතුරු හා අතුරුදහන් වූ තැනැත්තා පිළිබඳ විස්තරයක් හැකිතාක් දුරට සඳහන් කළ යුතුය.

අවුරුද්දක් බලා සිටිය යුතු ද?

පිළිතුර- එසේය. පනතේ 10 වන වගන්තිය යටතේ ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු, පනතේ උපලේඛණයේ සඳහන් දිවුරුම් ප්‍රකාශයට අනුව මෙවැනි ඉල්ලුම්පතක් ඉදිරිපත් කල යුතු වන්නේ අදාල අතුරුදහන් වීමේ සිට වසරක් ගත වීමෙන් පසුව ය.

මරණය ලියා පදිංචි කරීම- මරණ සහතිකයක් නිකුත් කිරීම

ඉල්ලුම්පත ලැබීමේන් පසුව ග්‍රාම නිලධාරි විසින් ඔහුට අවශ්‍ය යයි හැඟී යන පරීක්ෂණයක් සිදු කළ හැකිය.  පසුව එම ඉල්ලුම්පත්‍රය නිර්දේශ කර හැකි ඉක්මනින් (එහි නිරවද්‍යතාව සහතික කරන වාර්තාවක් ද සමග) අදාල කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් වෙත එවිය යුතුය. ප්‍රාදේශීය ලේකම් එම ඉල්ලීම පිටසන් කර රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට එවිය යුතු ය.

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් එම ඉල්ලීමේ සඳහන් විස්තර උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ පනත යටතේ පවත්වාගෙන යන මරණ ලේඛනයෙහි ලියාපදිංචි කරන ලෙස හා ඉල්ලුම්කරු වෙත මරණ සහතිකයක් නිකුත් කරන ලෙස නිසි රෙජිස්ට්‍රාර් වෙත නියම කළ යුතුය.

විදේශකයන්ගේ මරණ ලියා පදිංචි කිරීම

පනතේ 11 වන වගන්තියට අනුව ශ්‍රි ලංකාවට පැමිණ සිටි විදේශකයෙකු යම් ව්‍යසනයක් සිදුවන විට ව්‍යාසන පාත්‍ර ප්‍රදේශයක තාවකාලිකව පදිංචිව සිටිය දී එම ව්‍යවසනය හෝ විපත්තිය හේතුවෙන් මරණයට පත් වී තිබෙන බවට සාක්ෂි ඇති විට එම කරුණු පිළිබඳ දැනුමක් ඇති තැනැත්තෙකුට එසේ මරණයට පත් තැනැත්තා සම්බන්ධව මරණ සහතිකයක් නිකුත් කරවා ගැනීමට ඉල්ලුම් කළ හැකිය.

එම ඉල්ලුම්පත්‍රය එම විදේශකයා පුරවැසියකුව සිටි රට වෙනුවෙන් සිටින ශ්‍රී ලංකාවේ නියෝජිතයා විසින් සහතික කර රෙජිස්ට්‍රාර් ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතුය. ඔහු විසින් එම මරණය ලියා පදිංචි කර මරණ සහතිකයක් නිකුත් කල යුතුය.

එහෙත් පනතේ 11 වන වගන්තියේ අදාල පරිචය පූර්ණව හා පැහැදිලිව සඳහන් කර නොමැති බවක් පෙනී යයි.

මරණ සහතිකය නිකුත් කළ අය ජීවත්ව සිටීම

මියගිය බවට ලියාපදිංචි කරනු ලැබූ තැනැත්තකු ජීවත්ව සිටින බව දැනගත්නට ලැබුණහොත් අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය පනතේ 13 වන වගන්තියේ සඳහන් ය. එසේම, අසත්‍ය තොරතුරු ලබා දීමෙන් වංචනික ලෙස මරණ සහතික නිකුත් කර ගැනීම, මරණ සහතකයක් නිකුත් කරන ලද තැනැත්තෙක් ජීවත්ව සිටින බව දැන දැනම එය වසන් කරමින් මරණ සහතිකය භාවිත කීරීම යනාදි වැරදි හා එම වැරදි වලට ලබා දෙන දණ්ඩන 15 වන වගන්තියේ සඳහන් වේ. එම කරුණු දීර්ඝ වශයෙන් මෙහි සඳහන් නොකෙරේ.

මෙම පණත පමණක් ප්‍රමාණවත් ද?

ඉකුත් දා ශ්‍රී ලංකාවට බලපෑ දිත්වා සුලි කුණාටුව හා එහි ප්‍රතිථලයක් ලෙස ඇද හැලුනු අධික වර්ෂාව නිසා රටට හා ජනතාවට සිදුවූ සියලු හානි හා පාඩු සම්බන්ධයෙන් ප්‍රතිකර්ම ලබා දීමට ඉහත පනතට හැකියාවක් නොමැත. එම සියලු තත්වයන් ආවරණය වන පරිදි විශේෂ පනතක් (නීතියක්) පැනවිය යුතුය. එය පස්චාත් ආපදා කළමණාකරණ ක්‍රියාවලියේ අත්‍යාවශ්‍ය අංගයක් වේ.

 

සුනාමි (විශේෂ විධිවිධාන) පනත

2024.12.26 දින ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි උවදුරින් පීඩාවට පත් ජනතාව මුහුණ දුන් ආපදා තත්වයන් සලකා බලා පනවන ලද 2005 අංක 16 දරණ සුනාමි (විශේෂ විධිවිධාන) පනත මීට කදිම නිදසුනකි. එම පනතින් මෙහි පහත සඳහන් කාරණා සම්බන්ඳයෙන් විශේෂ ප්‍රතිකර්ම යොදවා තිබුනි. එනම්,

(අ)       යම් අයකු මියගිය අයකු බවට පූර්ව නිගමනය කිරීම සඳහා අවශ්‍ය කාලය මාස 6 කට අඩු කිරීම (2010 අංක 19 දරණ වත්මන් නීතිය යටතේ මරණ සහතිකයක් ලබා ගැනීමට අවුරුද්දක් බලා සිටිය යුතුය).

(ආ)      විශේෂ පටිපාටියක් අනුව අතුරුදහන් වූ තැනැත්තෙකු සම්බන්ධයෙන් මරණ සහතිකයක් ලබා ගැනීම (2016 අංක 19 දරණ පනතින් ඉහත සඳහන් විශේෂ පටිපාටිය පසුව පනවා තිබේ).

(we)    අධිකරණ කටයුතුවල දී හා නඩු පැවරීමේ දී අදාල වන නීතිමය කාල සීමාවන් (කාලාවරෝධයට අදාල නීති) දීර්ඝ කිරීම.

(ඈ)      කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් හා පුද්ගලික දේපළ ආරක්ෂාවට අදාල විධිවිධාන,

(ඉ)       මෙහිලා වැදගත්ම කාරණයක් වන්නේ ව්‍යසනයෙන් දෙමව්පියන් අහිමි වූ දරුවන්ගේ හා යෞවනයන්ගේ භාරකාරත්වය, රැකවරණය, කැපකරු මාපිය රැකවරණය, උප්පැන්න සහතික නිකුත් කිරීම, අධ්‍යාපනය, නඩත්තුව හා දේපළ උරුම වීම, ලියා පදිංචිය සම්බන්ධයෙන්  ප්‍රතිපාදන සලසා තිබීමයි.

 

විශේෂ විධිවිධාන පනතක අවශ්‍යතාවය

දිත්වා සුලි කුණාටුව හා ඒ සමග ඇද හැලුනු වර්ෂාව හේතුවෙන් සිදුවූ ආපදාවන්ට අදාලව විශේෂ විදිවිධාන පනතක් පැනවීමේ අවශ්‍යාවයක් පවතී. එවැනි නීතියකින් (ඉහත ඒවාට අමතරව) මෙහි පහත සඳහන් කාරණා සම්බන්ධව ද ප්‍රතිකර්ම ලබා දිය යුතුවේ. එනම්,

(අ)       බැංකු හා වානිජ ආයතන මගින් ලබාගත් ණය අයකර ගැනීමේ ක්‍රියාවලි (පරාටේ නීතිය වැනි) වහා නතර කිරීම හා ආපදාවේ බලපෑමෙන් මිදෙන තෙක් පොළිය ගණනය කිරීම නතර කිරීම, ණය ලබා දීමේ දී ණය තොරතුරු කාර්යාංශයේ (ක්‍රිබ්) ඇති සටහන් අදාල කර නොගැනීම, බැංකු ප්‍රතිපත්ති වෙනස් සංශෝධනය කිරීම,

(ආ)      දීප ව්‍යාප්ත විදුලි පද්ධතිය කොටස් වලට බෙදා පුද්ගලිකරණය කරන 2014 අංක 36 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම හෝ අහෝසි කිරීම,

(ඇ)      විදේශ මුදල් සෘජුව රාජ්‍ය හා පුද්ගලික ආයතනවලට ලබා ගැනිමේ දී බාධා හා ප්‍රමාද ඇතිකරන නීතිවල බලපෑම ලිහිල් කිරීම, දේශීය හා විදේශීය ආධාර ලබා ගැනීමේ හා බෙදා හැරීමේ යාන්ත්‍රණ කාර්යක්ෂම කිරීම හා ලිහිල් කිරීම,

(ඈ)      විපතට පත් තැනැත්තන්ට, ව්‍යාපාරිකයන්ට හා කර්මාන්තවලට පැනවෙන බදු ඉවත් කිරීම, සහන පොළී මත බැංකු ණය ලබා දීම හා හානි වූ වගා භූමි නැවත යථාතත්වයට පත් කිරීමට ගොවීන්ට ආධාර කිරීම,

(ඉ)       හානියට පත් වාහන හා යන්ත්‍ර යනාදිය අලුත්වැඩියා කිරීමේ දී, ඒවායේ මිල හා තත්වය තක්සේකරු කිරීමේ දී හා ඒවාට රක්ෂණාවරණ ලබා ගැනීමේ දී අදාල කර ගතයුතු විධිවිධාන,

(ඊ)       විපතට පත් තැනැත්තන්ගේ ශාරිරික මෙන්ම මානසික පීඩාවන්ට / ආතතීන්ට / කම්පනයට ප්‍රතිකර්ම යෙදීම,

(උ)       විනාශ වූ නීතිමය ලේඛණ (ඔප්පු, ඉඩම් ලියා පදිංචි කිරීමේ ලේඛණ, අධිකරණ වාර්තා, පාසල් සහතික, ජාතික හැඳුනුම්පත්, උප්පැන්න, මරණ, විවාහ, වෛද්‍ය වාර්තා, සහතික යනාදිය) නැවත නිකුත් කිරීම හා ආදේශක යොදාගනිමින් දෛනික කටයුතු සිදු කිරීමේ තාවකාලික ක්‍රමවේද ඇති කිරීම,

(ඌ)     ඉඩම් හා දේපළ සම්බන්ධ හිමිකම් තහවුරු කිරීම, විකල්ප ඉඩම් කඩිනමින් ලබා දීම, නිවාස අහිමිවූවන්ට තාවකාලික පදිංචි ස්ථාන සැපයීම, මියගිය අයගේ දේපළ උරුමවීම, බූදල් නඩු පැවරීම,

(එ)       පළාත් පාලන ආයතන අනුමැතින්, පරිසර සහතික, ගොඩනැගිලි හා ඉදිකිරීම් අනුමැතින් ලබා දීම,

(ඒ)       පස්චාත් ව්‍යසන කළමණාකරණ කටයුතුවල නිරත පරිපාලන නිලධාරීන්ට ඇතිවන බාධා හා සීමා ඉවත් කිරීම / ලිහිල් කිරීම,

(ඔ)       රක්ෂණ හිමිකම් ලබා ගැනීමේ දී, බැංකු කටයුතු යනාදිය සිදු කිරීමේ දී ඉදිරිපත් කල යුතු ලේඛණ,

(ඕ)       ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම, ආපදාවට ලක් වූ පවුල් වලට වන්දි සහ සහන ලබා දීම.

ඉහත සඳහන් වන්නේ අද වන විට ජනතාව මුහුණ පා සිටින දුෂ්කරතාවලට ප්‍රතිකර්ම ලෙස යෙදිය හැකි විශේෂ විධිවිධාන පනතක ඇතුලත් කළ යුතු කාරණා කිහිපයක් පමණකි. එම නීතිය හැකි ඉක්මනින්ම පැනවිය යුතුය. හදිසි නීතිය ඊට විකල්පයක් හෝ දිගු කාලීන විසඳුමක් හෝ නොවේ. එවැනි නීතියක් නිශ්චිත අවස්ථාවකට පමණක් බලපාන පරිදි නොව ඕනෑම විපතක දී පොදුවේ අදාල කර ගත හැකි වන පරිදි පැනවිය යුතුය.

නීතිඥ කණිෂ්ක විතාරණ



අදහස් (0)

ඔබේ සමීපතමයන් දිට්වා නිසා මියගිය බව දනිතත් තවම අතුරුදන් ලැයිස්තුවේද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 318 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 419 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 395 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site