IMG-LOGO

2023 ඔක්තෝබර් මස 03 වන අඟහරුවාදා


සුභාවිත ගීතයේ රත්න ශ්‍රී ලකුණ

ප්‍රවීණ කිවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ සැත්තෑවැනි ජන්ම දිනයත් අඩසියවසක නිර්මාණ දිවියත් නිමිත්තෙන් ඇගැයුම් උළෙලක් කොළඹ පදනම් ආයතනයේදී පසුගියදා පැවැත්වුණි. මෙම ලිපිය රත්න ශ්‍රී ගේ නිර්මාණ භාවිතය සැකැවින් විමසා බැලෙන්නකි.

හොඳම ගේය පද රචකයා හොඳම කවියෙකි. චන්ද්‍රරත්න මානවසිංහ, මහගමසේකර, ආනන්ද සමරකෝන්, මඩවල රත්නායක, විමල් අභයසුන්දර, ඩෝල්ටන් අල්විස් ආදී ගේය පද රචකයන්ගේ නිර්මාණ නිරීක්ෂණයෙන් මේ සත්‍යය වටහා ගැනීම දුෂ්කර නොවේ. සිංහල කවියට සාපේක්ෂව බලන විට අපට අනාදිමත් කාලයක සිට පැවැත එන සංගීත කලාවක් තිබුණු බවට සාක්ෂි නැත. එහෙත් උත්තර භාරතීය රාගධාරී සංගීතයේ බලපෑම අපේ ගීත සාහිත්‍යයට ලැබුණු බවට තර්ක විතර්ක බොහෝ ඇත. මහාචාර්ය සුනිල් ආරියරත්න පවසා ඇත්තේ සිංහල ගීත සාහිත්‍යයේ පියා මහගමසේකර බවත් මී මුත්තා රවීන්ද්‍රනාත් තාගෝර් බවත්ය. 

රවීන්ද්‍රනාත් තාගෝර්, රවී සංකර් වැනි සංගීතඥයන් බිහි වූයේ ජීවිතයම සංගීතය කරගත් නිසාම නොවේ. ශාස්ත්‍රීයව හා විද්‍යාත්මකව සංගීත ශාස්ත්‍රය ප්‍රගුණ කළ බැවිණි. ලංකාවෙන් ඉන්දියාවට සංගීතය ඉගෙන ගැනීමට ගිය බොහෝ අය කළේ සංගීතය මතුපිටින් ස්පර්ශ කර ලංකාවට පැමිණ රැකියාවක් කිරීමය.

එසේ නොමැතිව දේශීය සංගීතය සම්ප්‍රදායක් මෙරට ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරමුණින් සංගීත ශාස්ත්‍රය ප්‍රගුණ කළෝ විරල වූහ. ආනන්ද සමරකෝන් සුනිල් ශාන්ත, පණ්ඩිත් අමරදේවයන් ගැන යළි යළිත් කතාබහ කිරීමට සිදුවන්නේ එවන් පසුබිමකය. එකල ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත ඔසවා තැබූ දේශීය සංගීතය ඒ පමණින් ඇතැම් විටෙක ඊටත් වඩා උසස් මට්ටමකින් ශාස්ත්‍රීය හා විද්‍යනුකූලව පෝෂණය කරමින් පවත්වාගෙන ඒමේ ගෞරවය විශාරද පණ්ඩිත් අමරදේවයන්ට හිමිවිය යුතුමය. 

මහා භාතරයේ ලක්නව් භාත්ඛාණ්ඩ සංගීත විද්‍යා පීඨයේ මහාචාර්ය ශ්‍රී ක්‍රිෂ්ණ නාරායන් රතන් ජංකර් වැනි සංගීතවේදීන්ගේ ගෞරවයට පත් වූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයෝ ගායන ප්‍රතිභාවෙන් ද සංගීත ස්වර සුසංයෝජනයෙන් ද ප්‍රමුඛ වූවෝය. ඔවුහු චන්ද්‍රරත්න  මානවසිංහයන්ගේ කව් ගීවලට සාධාරණය ඉෂ්ඨ කළහ. මානවසිංහ කොළඹ කවිය අනුමත නොකළ කොළඹ කවියෙකි. කොළඹ කවිය ගීත මාධුර්යයෙන් පෝෂණය කළේ ඔහුය.

පසුකාලීනව එච්.එම්. කුඩලිගම ආදී කවීන්ගේ නිර්මාණවල ද මේ ගීතාත්මක ලක්ෂණ ගැබ්ව තිබුණි. මානවසිංහ සෙසු කවීන්ට වඩා කවියට ගීතාත්මක ලක්ෂණ එකතු කළේය. ඔහුගේ කවිවල දක්නට ලැබුණු මේ යුගායනීය ලක්ෂණ නිසා ඒ කවි සංගීතය ඉල්ලා සිටි බැවින් අමරදේවයන්ට ගායනා කිරීමට පහසු වූයේය. මානවසිංහගේ කෝමල රේඛාවේ එන කවි, ගීත ද කවිද යන්න හඳුනා ගැනීම දුෂ්කරවී ඇත්තේ එම නිසාය. පණ්ඩිත් අමරදේව ගායන මහා බෝ වන්නම ඊට හොඳම නිදසුනකි. 

මානවසිංහයන්ගෙන් පසුව සිංහල ගීතයෙහි කඩ ඉමක් සළකුණු කළේ මහගම සේකරය. ඔහුගේ පැමිණීමට ද මානවසිංහගේ ගීත සාහිත්‍යය බලපෑවේය. එහෙත් මහගමසේකරගේ බොහෝ කවි හා ගීත අතර පැහැදිලි වෙනසක් ඇත. සේකරගේ බොහෝ කවි ගීත ලෙස ගායනා කළ නොහැකි රචනාය. සේකරගේ කවිපොත්වල ගීත රචනා කිහිපයක් ද ඇත. 1970 රචිත බෝඩිම කවි සංග්‍රහයෙහි රත්නදීප (පි. 41) බොල් පොළොවට (පි. 43) ඔබේ නමින් සෑය බඳිමි. (පි. 49) සත්කුළු පව් වළලු මතින් (පි. 51) ආදී නිර්මාණ දැක්වීමට පුළුවන. 

අද්‍යතන සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි කවියත් ගීතයත් අතර හුවමාරුව ඇතිකර ගත් කවීන් දෙදෙනා නම් සේකර සහ රත්න ශ්‍රී විජේසිංහ යැයි මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ  කියති.

සේකර තමන් ලියූ රචනා ගීත බවට පරිවර්තනය නොකළ අතර රත්න ශ්‍රී මුලින් කවි පොත්වලට ලියූ කාව්‍ය රචනා පසුව සංස්කරණය කිරීමෙන් ගීත බවට පෙරළා ගීත පොත්වලට ඇතුළත් කර ඇත. 1985දී රචිත වස්සානේ කාව්‍ය සංග්‍රහයෙහි වංකගිරියට මාරුවීම නම් වූ කාව්‍ය මගෙ බිසව්නේ අසාපන් නැමැති ගීතය බවට පරිවර්තනය කර ඇත. 

මගේ බිසව්නේ අසාපන් 
නුඹ මන්ද්‍රි දේවි නොවුණේ 
දුෂ්කර වූ ඒ පළාතේ 
මට යන්න දෙන්න දේවි 

රත්නශ්‍රීගේ මේ ගීතවලින් පෙනී යන්නේ මහගම සේකරටත් වඩා මුල් කාලයේ චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ආභාසයට නතුවූ බවය. එහෙත් පසු කාලයේ දී ඔහු කවියත් ගීතයත් යන කලා මාධ්‍ය දෙකම හඳුනාගෙන නිර්මාණකරණයෙහි යෙදුණු බවක් පෙනෙතත් ඇතැම් විචාරකයෝ ඔහුට චෝදනා කළහ. කවියත් ගීතයත් නොහඳුනන අනුකාරක පරම්පරාවක් බිහි වූයේ රත්න ශ්‍රීගෙන් පසුව යැයි ඔවුහු චෝදනා කළහ.

එසේ අධි චෝදනාවලට ලක්වුව ද කාව්‍යයේ ශක්තිය මැඬගෙන ගීතය මතුවූ අවස්ථාවල ඔවුහු කවිය ද ගීතය ද වෙන් කරගෙන දෙඅංශයම පෝෂණය කළහ. ගීතය ශාස්ත්‍රීය සාහිත්‍යාංගයක් වීමත් සමග ඔවුහු කවිය අතහැර නොදැමූහ. කවිපොත් කිහිපයකට ද ගීත පොත් බොහොමයකට සම්මාන හිමිකර ගැනීමෙන් ඒ බැව් පෙනේ. 

කලක් මහගම සේකර අමරදේව සුසංයෝගයෙන් පොහොණි කළ ගීත කලාව රත්න ශ්‍රී - ගුණදාස කපුගේ සුසංයෝගයේ ප්‍රවර්ධනය වීම අගේ කළ යුත්තකි. පණ්ඩිත් අමරදේව උත්තර භාරතීය සංගීතය යොදාගෙන මෙරටේ ජන සංගීතය ප්‍රවර්ධනය කිරීමට සමත් වූයේ මහගමසේකරයන්ගේ සුභාවිත ගී පද මාලා යොදා ගැනීමෙනි. මහගම සේකර පණ්ඩිත් අමරදේවයන්ට රචනා කළ ප්‍රථම  ගීතය වෙත අවධානය යොමු කරමු. 

‘මළ ඉර බසිනා හැන්දෑයාමේ 
ඔබගෙන් සමු ගන්නම් 
අඳුරට ඉඩ දී අඳුරෙහි සැඟවී 
 ඔබගෙන් වෙන් වී මම යන්නම් 

මේ සුභාවිත ගේය පද මාලාව මහගම සේකර හැටේ දශකයේ දී ගුවන් විදුලියේ මධුවන්ති වැඩසටහනට රචනා කළ නිර්මාණයකි. මෙම සුගීතය අමරදේවයන් විසින් ගායනා කරන්නට යෙදීමත්  සමග සේකර අමරදේව ඇසුර තව තවත් වර්ධනය වන්නට වීම සිංහල ගීත සාහිත්‍යයේ  හා සංගීතයේ පෝෂණයට සෘජුවම ඉවහල් වූ බව කිව යුතුව නැත.

සේකර තරම් අමරදේවයන්ට පසුකාලීනව විදග්ධ ගීත රචනා කළ අන් ගීත පද මාලාකරුවකු ගැන කීමට අපි නොදනිමු. සේකර අමරදේව සුසංයෝගය සිංහල සංගීතය ක්ෂේත්‍රයෙහි එක්තරා කඩඉඩමක් සලකුණු කරනුයේද එබැවිනි. මේ ආදේශය මත පිහිටා රත්න ශ්‍රී විජේසිංහ ගුණදාස කපුගේ සුසංයෝගය  ද සිංහල ගීත සාහිත්‍යයෙහි අලුත් සලකුණකි. 

මහගම සේකරගේ ගේය පද රචනාවලට ගී තනු නිර්මාණයද ගායනා ප්‍රතිභාවද අමරදේවයාණන්ගෙන්  ලැබුණේ යම් සේද රත්න ශ්‍රී විජේසිංහගේ බෙහෝ ගේය පද මාලාවලට සංගීතයෙන් ද ගායනයෙන් ද දායක වූයේ ගුණදාස කපුගේය. රත්න ශ්‍රී 1982 දී පුවත්පතකට ලියා යැවූ වංක ගිරියට මාරුවීම, පද්‍ය රචනාව එහි පළවිය. එය කියවා රසවිඳි ස්වර්ණ ශ්‍රී බණ්ඩාර නම් සොඳුරු මිනිසා කවිය කපුගේට දුන්නේය.

කපුගේ පද මාලාව සංගීතවත් කර ගායනා කරන තෙක් රත්න ශ්‍රී දැන සිටියේ නැත. රත්න ශ්‍රී හා කපුගේ අතර ඇසුර ඇති වන්නේ මෙයින් පසුවය. 1982 දී ‘‘කාලයේ රාවය’’ නම් ප්‍රසංගයක් සඳහා කපුගේ සූදානම් ව සිටියේය. ඔහුගේ ප්‍රථම ඒක පුද්ගල ප්‍රසංගය වූ එයට රත්න ශ්‍රීටද සහභාගී වන්නැයි කපුගේ ආරාධනා කළේය. රත්න ශ්‍රී අනුරාධපුයට ගොස් ජීවිතේ ප්‍රථම වරට කපුගේ  නම් සොඳුරු කලාකරුවා හමුවිය. ඔහු රත්න ශ්‍රී පද රචනා කළ ‘වීදියේ බුදු හිමි’ ස්වර රටා ගොඩනංවා ගායනා කළේය. 

සොයා නොගොසින දමා නගරය 
ගයා හිස රමණීය වන ගැබ 
භයානක සොර සතුරු බිය පිරි 
වීදියේ වැඩ සිටියි හිමි ඔබ 

ආනන්ද සමරකේන් චන්ද්‍රරත්න මානවසිංහ, සුනිල් ශාන්ත වැනි රචකයන් බුද්ධාලම්බන ප්‍රීතිය දවන ගේය කාව්‍ය රචනා නිර්මාණය කරද්දී රත්න ශ්‍රී ‘‘‘වීදියේ බුදු රුව’’ ඔස්සේ නිරීක්ෂණය කරන්නට යෙදුණේ සමාජ මිනිසාගේ දුක්  සෝ සුසුම්ය. ඔහුගේ සමාජ ගීතයේ තිඹිරිගෙය වීදියේ බුදු රුව මතින් දිස් වූයේ අනුරාධපුර ‘‘කාලයේ රාවය’’ ප්‍රසංගයේ දී කපුගේ මියුරු හඬිනි. ගීතයක් සම්පූර්ණ වීමට එක්විය යුතු කරුණු හයක් සංගීත රත්නාකරයෙහි ලා ශාරංග දේවයෝ පෙන්වා දෙති. 

‘සුස්වරං සරසං චෛව- සරාගංච මධුරාක්ෂරම් 
 සාලංකාර සප්‍රමාණං- ෂඩ් විධ ගීත ලක්ෂණම් 
මේ ශ්ලෝකයට අනුව සුගීතයක් සම්පූර්ණ වීමට එක්විය යුතු ප්‍රධාන කරුණු හයකි. 
මනාකොට ස්වර පිහිටීම
රසවත් වීම 
රාගාත්මක වීම 
මිහිරි අකුරින් යුතුවීම 
අලංකාරවත් වීම 
ප්‍රමාණය 

යන මොවුහු ෂඩ් විධ ගීත  ලක්ෂණයෝ වෙති. (නිෂාදි 27 පිටුව) ගීතයක් ලිවීමේ දී සංගීතරත්නාකරය පෙන්වා දුන් මේ ලක්ෂණ පිළිබඳ අවබෝධයෙන් ගීත ලියුවෝ අප අතර විරල වෙති. රත්න ශ්‍රී විජේසිංහයෝ බොහෝ ගීත රචනා කිරීමේ දී ඒ පිළිබඳ සැලකිලිමත් වී ඇති බැව් ‘‘ප්‍රථම ප්‍රේම සිහිනය රචනයෙන් පෙනෙයි. 

 නින්ද නැති රැයේ 
සඳ කඳුළු මීදුමේ 
හැංගිලා හඬන්නෙ ඇයිද 
ප්‍රථම ප්‍රේමයේ 

මේ ගීතයේ ප්‍රේමණීය හැඟීම් උද්දීප්තියට පත් කෙරෙන පද සංකල්පනාවට ඖචිත්‍යයෙන් යෙදෙන අකුරු වඩන පද රටා සුපරීක්ෂාවෙන්ම තෝරාගෙන ඇති නිසා සංගීතරත්නාකරය පෙන්වා දෙන කාරණා හයට අනුකූලවෙයි. ඒ නිසාම මේ ගේය කාව්‍ය රචනය ළයාන්විත විරිතකින් යුගායනීය භාවයට පත්වනු ඇත.

ගුණදාස කපුගේ සූරීන්ගේ සංගීත ස්වර රචනයටත් මධුර ගායනයටත් පහසුවන්නේ ගේය කාව්‍ය රචනයේ ආකෘතියෙහි ඇති රාගාත්මක ස්වභාවයයි. පද මාලාව මියුරු ස්වරයෙන් අලංකරණය කර ඇති නිසා කපුගේගේ ශ්‍රැතිඥානයට ප්‍රමාණ වෙයි. අනෙක් අතට කපුගේ නාද මාලාව රත්නශ්‍රීගේ පද මාලාව සමග මුසු වූ කල ශ්‍රාවකයාගේ භාවේන්ද්‍රියෙහි ප්‍රබල කම්පනයක් ඇති කරයි. ඒ තරමටම විප්‍රලම්භ ශෘංගාරය ප්‍රබලව දැනෙයි. ප්‍රථම ප්‍රේමය බිඳී ගිය සෙයකි. ඒ වෙනුවෙන් කඳුළු මීදුමකි. ඒ නිදී නැති රැයෙහි හඬන්නේ හැංගිලාය. මොන තරම් ලස්සන රූපක ගොඩනැංවීමක්ද? තාරකා දියේ ගිලි නිල් එළිය නිවේ යන කාව්‍යොක්තිය කෙතරම් ප්‍රබලද? 

ගීතතාවය නොහොත් ගීතවත් බව ගීතයෙහි විශිෂ්ටතම අංගයයි. මෙයින් ගීතය වඩාත් හෘදය කාන්ත කළ හැකිය. ගීතයෙන් නිරූපිත රසභාව දියුණු දියුණු හදවත් ඇද බැඳ ගෙන සිටිනුයේ ගීතතාවයෙන් පිරිපුන් පමණටය. රාගය, ස්වරය, ශ්‍රැතිය, විරිත, යතිය, එළිය, පද, අකුරු, වචන, තාලය, ලය, සමය, රසය. භාවය. අර්ථය, තානය, වර්ණය, ගමකය, අලංකාරය, ආලාපය, වැයුම, ගැයුම, කටහඬ, ලළනය, උච්චාරණයද යන මේ අංග එකකට එකක් අඩු වැඩියක් නැතිව හරි පදමට සම බරට සංයෝග වූ විට ගීතතාව මතුවන(නිෂාදී 27 පිටුව) බවට හොඳම නිදසුකි රත්න ශ්‍රී විජේසිංහයන්ගේ වෙල්ලස්සේ ගීතය.

බිම්බරක් සෙනග ගැවසුණ 
චන්ද්‍ර සූර්යයා ඉපැදුණ 
ස්වර්ණ භූමියේ මනරම් 
මාළිගාව කෝ.....

මේ ගේය පද රචනයේ අන්තර්ගතය විරෝධාකල්පයකි. හටනකි. බටහිර බලපෑම නිසා ඌව වෙල්ලස්ස ප්‍රදේශයට පැමිණි බහු ජාතික සමාගම් පැල්වත්තේ ගොවීන්ගේ ගම් බිම් මංකොල්ල කෑමේ පුවත විෂයය කරගෙන මේ ගේය පද මාලාව රචනාකර ඇත. රත්න ශ්‍රී මේ සුගීතයේ  පැදි විරිත සබරගමු ජනකවි අතර ප්‍රචලිත සමන්දේව වර්ණනාවේ එන මේ කවිය ඇසුරින් රචනා කර ඇත. 

හෙළ මුදුනින් බැස්ස කලට පෙනේවී උළු මාලිගාව 
රෑ දහවල් නින්ද නැතිව රන්කොත් බබළන සොබාව 
බිම්බරකට සෙනග ඇවිත් සෑදුව උළු මාලිගාව 
මුළු රටටම පාරට්ටුයි සබරගමුවේ මාලිගාව 

රත්න ශ්‍රීගේ පැදි විරිතට මෙම ජන කවියේ ආලෝකය ලබා ගත්තා සේම කපුගේ නිර්මිත සංගීතය (නාද රටාව) පරංගි සටනේ මතු සඳහන් කවි දෙකෙහි ඇසුර ලබා ඇති බැව් පෙනේ. 

යුද්දෙටත් ඇවිත් සිදු පිටනැව් නැගිලා - පරංගි 
උන්නමුත් ඇවිත් කොළමට ගොඩ බැහැලා 
අන්දමත්  හොඳයි කිසි  බිසි සී ගාලා - කොළඹදි 
කම්පලක් නැතත් සෙනගත් මරවාලා 

ලත් තැනින් කියත් මහසෙන් රට ගන්ටා - දෙමළු 
මත් වෙලත් දොඩත් වෙරි මත පෙන්වන්ටා 
කත් ගෙරිත් මසුත් උන් ළැම පණ ගන්ටා - එතනදී 
තැත් කිසිත් ජයක් යුද කෙරුමෙන් උන්ටා 
ගුණදාස කපුගේ සංගීත නාද රටා මැවීවේ දී පූර්වෝක්ත හටන් කවි ද්විත්වයේ නාද රටාව මගින් ලබන අනුප්‍රාණය වෙල්ලස්ස ගීතයේ අගය වඩාලයි. 

කැලෑ මල් පිපී රතු තොල්වලින් කෑ ගසා ඉල්ලන 
ජාතියේ නිධානය රන්රුවන් කරඬු කොයි  
වෑ කන්ද කඩා බිම් කටු කම්බියෙන් බෙදා 
මේ රණ බිමේ හිස ගසා දමනා කඩුව බිම දමව් 

කවර සාහිත්‍ය කලා සම්ප්‍රදායකින් වුවද ආභාසය නිර්මාණකරුවකුට නරක දෙයක් නොවේ. ඔහු විවිධ සම්ප්‍රදායන්ගෙන් ආභාසය ලබා විශිෂ්ට ගීත සාහිත්‍යයක් ජාතියට දායාද කළේය. එනිසා හොඳම ගීත ලියන්නෝ  හොඳම කිවිහුය. යන්න රත්න ශ්‍රී ගේ පූර්වෝක්ත සුගීත සාක්ෂි සපයනු ඇත. රත්න ශ්‍රී මේ භද්‍රකල්පයට පහළ වූ අති දුර්ලභ ගණයේ කවියකුද ගේය කාව්‍ය රචකයකුද වන්නේ ඔහුගේ  නිර්මාණයන්හි පවතින විශිෂ්ටතාව හේතුකොටගෙනය. 

චන්ද්‍රරත්න මානවසිංහ මහගමසේකර යන යුග පුරුෂයන්ගෙන් උරුම වූ කව් ගී දැහැන පුබුදුවා සරසවි ඉමෙහි කව් නළු ගී පබද  කළ රත්න ශ්‍රී විජ්සිංහගේ සරසවි බැලුමැස ඉඳුනිල් කැඩපතක් සේ බබළන මේ ගී ලකුණු වත්මන් පරපුරට මනා ආදර්ශයකි. රත්න ශ්‍රී කපුගේ සුසංයෝගයේ සෙනසුරුට පෙම් බඳින දෝනී. සිටුකුමාරියේ දෙවෙන්දොරා සංගේ  සමුදීම සිංහල සින්දු කියන කිරිල්ලී, සක්වාලිහිණි, මාළුවෝ, මාපිය මහේෂිකාවී යන ගී උල්පත අනාගත පරම්පරාවට සුභාවිත ගීතය දෙසට හැරෙන්නට සලකුණුය.


මහේෂ් ක්‍රිශාන්ත



අදහස් (1)

සුභාවිත ගීතයේ රත්න ශ්‍රී ලකුණ

Pradeep Kumara Thursday, 08 June 2023 10:03 AM

ඉතාමත් හොඳ ලිපියක්... ස්තූතියි මහේෂ් මහතාට. රත්න ශ්‍රී මහතාණෙනි, ඔබට සුබ උපන්දිනයක් වේවා...!

:       1       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාසලේ සාහිත්‍ය ගුරුවරයා අද නෑ
2023 ඔක්තෝබර් මස 03 17 0

නවකතාව, කවිය, කෙටිකතාව, නාට්‍ය වැනි නිර්මාණාත්මක සාහිත්‍යයේ විවිධ ඉසව් මෙන්ම ශාස්ත්‍රීය අධ්‍යයන, පර් යේෂණ ක්‍ෂේත්‍ර නියෝජනය කරමින් කෘති රැසක් ලියා, පළ


අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගුරුතුමා
2023 ඔක්තෝබර් මස 03 51 0

ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදීයා සහ දිවයින ආරම්භක කර්තෘවරයා වන එඩ්මන්ඩ් රණසිංහ මහතා වෙනුවෙන් උපහාර උළෙලක් අද 3 වැනිදා සවස 3.00 ජනාධිපති


ජනතාවට බර පටවා ආර්ථිකය නැංවීම සාධාරණද?
2023 ඔක්තෝබර් මස 03 36 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් පසුගිය දා මෙරටට පැමිණි අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරන ක්‍රියාමාර්ගයන් හි ප්‍රතිඵල සමාලෝචනය කර ඇත. ම


වගකිව යුත්තන්ගේ වගකීම් පැහැරහැරීම
2023 ඔක්තෝබර් මස 03 20 0

ඉදිරි මාස් කන්නයේ වගා කටයුතු සඳහා ජලය මුදාහැරෙන ආකාරය තීරණය කිරීම සහ ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප


ඡාත්‍යන්තර අරමුදලේ යෝජනා
2023 ඔක්තෝබර් මස 02 805 0

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් හට ගැනීමට සාධක කිහිපයක් ඉවහල් විය. 2019 දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය එකකි. එයින් මෙරටේ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ ව


සෑම කොට්ඨාසයක්ම මේ රටේ පුරවැසියෝය
2023 ඔක්තෝබර් මස 02 84 0

‘ජාතික සංහිඳියාව’ යනු කට වචනයෙන් නිර්මාණය කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා සියලු ජාතිකත්ව අතර අව්‍යාජව මතු වූ උවමනාවක් ද ඒ හා බැඳුණු දියුණු ක්‍රියාකාරීත්වයක


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 2210 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 801 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 459 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site