IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


සිව්පද කවිය සිංහල සාහිත්‍යයේ උරුමයක්

තුරුණු මඬල

 

 

වෘත්තීයමය වශයෙන්  මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කරන ලකිදු වික්‍රමසිංහගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය "ගුරු පාට ඇස්" නමින් පාඨකයා අතට පත්කෙරිණි. සාමාන්‍යය ජීවිතයේ දි හැමදේකටම වඩා නිදහස ප්‍රිය කරන සරල මනුෂ්‍යයකු වන ලකිදු තමන්ගේ සාහිත්‍ය ගමන මෙම කාව්‍ය කෘතිය සමග ඉදිරියට ගෙන යාම⁣ට බලාපොරොත්තු වේ. ලංකාදීප මතුමහල "තුරුණු මඬල" සාහිත්‍ය සංවාදය මෙවර ඔහු සමගයි.


* ඔබේ පළමු කවිපොත පසුගියදා" ගුරු පාට ඇස්"නමින් නිකුත් වුණා.පළමු සාහිත්‍ය කෘතිය විදියට කවි පොතක් නිකුත් කරන්න හිතුවේ ඇයි?

කවි ලියන එක මගේ පොඩි කාලේ ඉඳලම පුරුද්දක්. පාසලේ තුන ශ්‍රේණිය වගේ ඉඳලම මම වචනයක් දෙකක් ගළපගෙන ලියන්න පුරුදු වෙලා හිටියා. පසුකාලීනව ලියන කවි මුහුණුපොතට දාන්න ගත්තා. ඒ හරහා මට කවියට ප්‍රිය කරන විශාල මිතුරන් පිරිසක් මුණගැහුණා. ඒ මිතුරන්ගේ ඉල්ලීම් සහ බල කිරීම්වල ප්‍රතිඵලක් විදියට තමා මේ පොත බිහි වෙන්නෙ. කවිය නිසා මට මුණගැහුණ ලස්සන යාළුවො නිසා මම කාලයක් තිස්සේ ලියපු කවි එකතු කරලා ගුරු පාට ඇස් බිහි වුණා.

 

* නුඹ නමින් ලියැවුණු එකම කවියෙන් පොතට නම් තැබූ බව ඔබ මෙහි සදහන් කරනවා.විරහව,ආදරය නිසාමද පුද්ගලයෝ නිර්මාණකාරයෝ බවට පත්වන්නේ?

ලෝකය ගැන මගේ කියවීම අනූව මේ ලෝකයේ හැමදෙයක්ම පදනම් වෙලා තියෙන්නේ ආදරය කියන ලස්සන සංකල්පය මත. ආදරයෙත් මිනිස්සුන්ට වඩා සමීප වැඩියෙන්ම දැනෙන කොටස විරහව. මට දැනෙන විදියට කවිය විතරක් නෙමේ ඕනෑම කලාවක පදනම ආදරය. ඉතින් නිර්මාණයක්, නිර්මාණකරුවෙක් බිහි වෙන්න පවතින්න ආදරය විරහව කියන දේ අත්‍යවශ්‍ය සාධකයක් කියලයි මට හිතෙන්නේ

 

* ඔබේ කවි නිදහස් ආකෘතියට වඩා හතරපද කවි ලෙස ඉදිරිපත් කිරීමට ඔබ උත්සාහ දරා තිබෙනවා.පැරැණි සිවුපද කවිය තවමත් ආරක්ෂා කරගත යුතු දෙයක් ලෙස ඔබ විශ්වාස කරනවද?

අනිවාර්යයෙන්ම. මට හැඟෙන විදියට සිව්පද කවිය කියන්නේ සිංහල සාහිත්‍යයේ උරුමයක්. කවියන් විදියට හැකි උපරිමයෙන් සිව්පද ආකෘතිය ආරක්ෂා කර ගන්න උත්සහ දරන්න ඕනෙ කියන එකයි මගේ අදහස. ගුරු පාට ඇස් පොතෙන් ඒ වෙනුවෙන් උපරිම දායකත්වය දක්වන්න මම උත්සාහ කළා.

 

*ඔබ මේ කෘතිය ඉදිරිපත් කරන්නේ රන්දෙරණ නමින් ඔබගේම ප්‍රකාශනයක් ලෙසටයි.කතුවරයාම ප්‍රකාශකයා වීම අභියෝගයක් නොවේද ?

එතැනදි ප්‍රකාශනයේ සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ මගේ සහෝදරයාට. ඔහුගෙ මග පෙන්වීම සහ උපකාරය නිසයි මට මේ පොත රන් දෙරණ ප්‍රකාශනයක් විදියට එළිදක්වන්න හැකි වුණේ. අද පවතින තත්වය අනූව පොතක් ප්‍රකාශනය කරනවා කියන්නෙම අභියෝගයක්. යම්තාක් දුරකට අපිට ඒ අභියෝගට සාර්ථක ලෙස මුහුණ දෙන්න පුළුවන් වුණා කියලා මම හිතනවා.

 

* කවිය පිළිබද විවිධ නිර්වචන තිබෙනවා.කවිය ඔබට දැනෙන්නේ කවරාකාරයටද?

කවිය කියන එක තම තමාට දැනෙන විදියට නිර්වචනය කරගන්න පුළුවන්. මට දැනෙන විදියට කවියක් කියන්නේ වචන පේළි ටිකක් නෙමෙයි. කවියක් කියන්නේ තනි හැඟීමක්. කෙනෙක්ගේ හැඟීමක් තවත් කෙනෙකට සන්නිවේදනය කරන්න තියෙන හොඳම මාධ්‍යයක්.

 

* ඔබ තාක්ෂණය පිළිබදවත් දැනුවත් අයෙක්.සාහිත්‍ය පාඨකයාට ළං කිරීම සදහා තාක්ෂණය යොදාගත හැක්කේ කෙසේද?

ඇත්තටම තාක්ෂණය කියන්නේ සාහිත්‍යයකරුවන්ට පාඨකයා අතරට යන්න ලැබුණ ලොකු අවස්ථාවක්. සමාජ මාධ්‍යය නිසා පොතක් ප්‍රකාශනය කරන්න බැරි දක්ෂ සාහිත්‍යයකරුවන්ට පවා පාඨකයා ළඟට පහසුවෙන් තමන්ගේ නිර්මාණය අරන් යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තාක්ෂණය නිසා සමාජයට ඉතා දක්ෂ සාහිත්‍යයකරුවන් රැසක් බිහිවෙලා තියෙනවා. ඒ වගේම online bookstores නිසා පාඨකයාටත් තමන්ගේ ප්‍රියතම පොත්පත් නිවසටම ලබාගන්න හැකියාව ලැබිලා තියෙනවා.

 

* කවියට අමතරව සාහිත්‍ය කලාවේ ඉදිරියට යොමු වීමට සිටින වෙනත් ඉසව් මොනවාද?

දැනට ගීත කිහිපයක් රචනා කරලා තියෙනවා. ඉදිරියේදී ඒවා නිර්මාණ විදියට එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව නවකතා කලාවට පිවිසීමට බලාපොරොත්තුවක් තියෙනවා. එහෙත් ඒකට ටික කාලයක් වැය වෙයි. තරමක් වැඩි කාලයක් අරගෙන  හොඳ නිර්මාණයක් පාඨකයාට ලබා දෙන එක තමා මගේ අරමුණ

 

* ඔබ කවියෙක් ලෙස අනිත් කවියන්ගේ කවි පොත් කියවනවද?ඔබ කැමතිම කවියෝ සිටිනවද?

කවියෙක් වීමේ පළවෙනිම පියවර කියවීම. කියවන්නෙ නැති කෙනෙක්ට කවියෙක්  වෙන්න බෑ කියන එකයි මගේ අදහස. කැමති කවියන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. කිහිපදෙනෙක් නම් කළොත් නූතන කවියේ මුදුන් මල්කඩ රත්න ශ්‍රී විජේසිංහයන්, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, ප්‍රියලාල් කොග්ගලගේ, දමිත්‍රි දර්ශා, ඉලක්ෂ ජයවර්ධන. මේ කිහිපයක් විතරයි. තව පෞද්ගලිකව ප්‍රිය කරන කවියන් විශාල ප්‍රමාණයක් ඉන්නවා.

 

* පොත් කලාවේ නවමු ප්‍රවණතා ගැන ඔබ උනන්දුවකින් කටයුතු කරනවා.පොත් මාර්කට් කරන්න ලේඛකයන්ට තිබෙන අලුත් මාර්ග මොනවාද ?

ලංකාව ඇතුළේ ලේඛකයෙක්ට කතා කරන්න ටිකක් අකැප මාතෘකාවක්. සමාජයේ යම්පිරිසකගෙ මතය අනූව ලේඛකයෙක්ට අකැපයි. කොහොම වුණත් මාකටිංවලට තියෙන අලුත් ක්‍රම කිව්වොත් මුහුණුපොත youtube එක වගේ සමාජ මාධ්‍යය ඉතාමත් හොඳ වේදිකාවක්. ඊට අමතරව අපේ රටේ වැඩියෙන්ම අවභාවිත වෙන tiktok සමාජ මාධ්‍යය ඉතාම හොඳ මෙවලමක්

 

*මේ වනවිට ඔබේ කවිපොත එළියට ඇවිත් යම් කාලයක් ගත වී තිබෙනවා.ලැබෙන ප්‍රතිචාර ලේඛකයෙක් ලෙස තෘප්තිමත් ද?

ඇත්තටම ගොඩක් සතුටුයි. බලාපොරොත්තු වුණාට වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉදිරියේදී එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්න නවකතාවත් ඒ ප්‍රතිචාරවල ප්‍රතිඵලක් වේවී.



අදහස් (0)

සිව්පද කවිය සිංහල සාහිත්‍යයේ උරුමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 510 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17144 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 688 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site