IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


මම සාහිත්‍ය කල්ලි පස්සේ දුවන්නේ නැහැ - ඉෂූ.එස් වීරවර්ණ

තුරුණු මඬල

 


සමාජ මාධ්‍ය අවකාශයේ ලියන බහුතරයක් කාන්තාවන් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.ඉෂූ.එස්.වීරවර්ණ ද සමාජ මාධ්‍යයේ අපට හමුවන ජනප්‍රිය කිවිඳියක හා කෙටිකතා රචිකාවියකි.ඇය එතැනින් නොනැවැතී ඇගේම නවකතා 6 ක් මේ වන විට පාඨකයන්ට දායාද කොට හමාරය .සාහිත්‍ය කලාවේ බොහෝ අසාධාරණ තැන්වල ඊට එරෙහිව මුලට හිටගෙන සිටින්නේත් ඇයමය.මෙවර ලංකාදීප මතුමහල සාහිත්‍ය අතිරේකයට අපි ඇය කැඳවා ගතිමු.

 

* ලියන්න ඕනේ කියන හැඟීම ඔබට මුලින්ම දැනුණේ මොන කාලේද?

ඇත්තටම මම හිතන්නේ මම අකුරු ලියන්න පටන් ගත්තු මුල් කාලේ ඉඳන්ම මම ලියනවා. මම පොළොන්නරුව නගර මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා 5 වසරේ සිට හත වසර දක්වා. ඒ කාලේ ඇතුළතත් මම පාසල් සාහිත්‍ය තරග වලට සහභාගි වෙලා ජයග්‍රහණ ලබලා තියෙනවා. විශේෂයෙන් පද්‍ය රචනා තරගවල. ඒ අනුව බලනකොට නම් මං මුලින්ම ලියලා තියෙන්නේ කවි.

 

* ඔබ සමාජ මාධ්‍ය ඇතුළේ ලියන සමහර කවි වයිරල් වන අවස්ථා අපි දකිනවා.සමාජ මාධ්‍යයේ කවි ලියන විට ඊට අදාළ වන භාෂාවක් භාවිත කරනවද?

නැහැ.වෙනම භාෂාවක් භාවිත කරන්නේ නැහැ.එහෙත් පවතින කාලයට අදාළ වන ගැටලු තමා කවියෙන් සාකච්ඡා කරන්නේ. සමහර විට ගොඩක් සමාජ ගැටලු සාකච්ඡා වෙන නිසාම වෙන්නත් ඇති ඒ කවි වයිරල් වෙන්නේ.

 

ඔබ සමාජ මාධ්‍යයේ ජනප්‍රිය කිවිඳියක් වුවත් තවමත් කිසිදු කවි පොතක් පළ කරලා නැහැ.ඒකට විශේෂ හේතුවක් තියෙනවද?

ඇත්තටම කවි ලියන තරම් පහසු නෑ කවි පොතක් ලියා පළ කරන එක. වර්තමාන ආර්ථික තත්වය එයට බලපා තිබෙනවා. ලංකාව ඇතුළේ කවි පොත්වල අලෙවිය ඉතා අඩුයි. සමස්තයක් වශයෙන් සියලුම සාහිත්‍ය කලාවන්ට ඉතාම අභාග්‍යසම්පන්න කාලයක් උදා වෙලා තියෙන්නේ. ඇත්තටම කවි පොතක් ලියලා පළ කරන්න බැරි වුණේ ආර්ථික ගැටලු නිසයි. එහෙත් මගේ කවි දිගින් දිගටම ප්‍රාදේශීය සභා තරගවල සහ වෙනත් තරගවල ජයග්‍රහණය කරනවා. ඒවගේම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කැටපත් පවුරෙත් පළවෙලා තිබෙනවා.

 

* ඔබ මේ වන විට නවකතා පොත් 6 ක් පළ කර තිබෙනවා.ඒ සඳහා ලැබුණු පාඨක ප්‍රතිචාර  ගැන තෘප්තිමත් ද?

පාසල් අවධියේ සාහිත්‍ය කටයුතුවල යෙදීමෙන් පසුව මම  නවකතා ලිව්වේ මුහුණුපොතේ, ඉතින් මුහුණුපොතේ මගේ නවකතා කියවපු පාඨකයෝ තමයි මගේ කතා මුද්‍රිත මාධ්‍යයට ගෙනාවේ. මේ වනතෙක් කිසිම පොතක් මගේ වියදමෙන් මුද්‍රණය කරලා නැහැ. ප්‍රකාශන සමාගම්වලින් කරපු පොත් හැරෙන්න අනිත් හැම පොතක්ම මගේ ආදරණීය පාඨකයෝ කරපු පොත්.ඇත්තටම ඒ හැම පොතකටම හොඳ ප්‍රතිචාර ලැබුණා. මම මගේ පාඨකයන්ගෙන් මට ලැබෙන ප්‍රතිචාර ගැන සීයට සීයක්ම තෘප්තිමත්.

 

* ඔබේ නවකතා සඳහා ඔබ සත්‍ය කතා පදනම් කරගන්නා බවක් පේනවා.නවකතාවක් රචනා කිරීමේදී ප්‍රබන්ධයට වඩා සත්‍ය අත්දැකීම් අකුරු කිරීම ලේසීද?

නැහැ. ඇත්තටම සත්‍ය කතා රචනා කිරීම බොහොම අසීරුයි. හේතුව තමයි අපි ලියන කතා ඇතුළේ ඉන්න සමහර චරිත මේ වනවිටත් අපේ සමාජයේ ඉන්නවා. එතකොට ඒ අයගේ හිත් නොරිදෙන විදිහට සහ ඔවුන්ට අපහසුතාවක් නොවෙන විදිහට තමා හැම විටම සත්‍ය කතා රචනා කරන්න වෙන්නේ. එහෙත් ප්‍රබන්ධයක් රචනා කරනකොට අපිට සීයට සීයක්ම නිදහස ලැබෙනවා අපිට අවශ්‍ය විදිහට ලියන්න. ඉතින් වඩාත්ම පහසු ප්‍රබන්ධ රචනා කිරීමයි. ඒක හරියට හීන ලෝකෙක ඉන්නවා වගේ. ලේඛකයාට අතපය දිග හැර ලිවීමේ නිදහස ලැබෙනවා ප්‍රබන්ධ රචනා කරනකොට. මම වැඩියෙන්ම කැමති ප්‍රබන්ධ රචනා කරන්නයි. 

 

* ඔබ රචනා කළ රිදුණු පොහොට්ටුව වගේ සමහර නවකතා  ආන්දෝලනාත්මක තේමා.ඔබේ පාඨක පුජාව වැඩිපුර වැඩිහිටියන්ද?

ඇත්තටම මගේ හැම නවකතාවකම තිබුණේ ආන්දෝලනාත්මක තේමා තමා. එහෙත් මා වටා ඉන්නේ වැඩිහිටි පාඨකයෝ කියලා කියන්න බැහැ. නව යොවුන් සහ තාරුණ්‍යයත් මා වටා ඒකරාශී වෙලා ඉන්නවා. රිදුණු පොහොට්ටුවෙත් කතා කරන්නේ දැරියක් ගැන. ළමා විවාහයක් ගැන නිසා එහි තේමාවත් සෑහෙන්න විප්ලවීය එකක් තමයි. සමස්තයක් විදියට හැම වයසකම පාඨකයන් මා වටා එක්රොක් වී ඉන්නවා කියන එක තමයි සත්‍යය. තරගවලට මා ඉදිරිපත් කර ළමා කතා ජයග්‍රහණය ලබා තිබෙනවා. ඉදිරියට ඒ ළමා කතා මුද්‍රණය කරන්න බලාපොරොත්තු වෙනවා.

 

අද පාඨකයා පොත් හලකට ඇවිත් පොතක් ගන්නවාට වඩා ඔන්ලයින් හරහා පොත් ඕඩර් කිරීමට පෙලැඹී තිබෙනවා.ඒ ක්‍රමය සාහිත්‍ය කලාවේ දියුණුවක් විදියට දකිනවද? 

ඔව් ඒ ක්‍රමේ හොඳයි. ගෙදරටම පොතක් ගෙන්න ගන්න තිබෙනවා නම් කවුරුත් කැමතියි. ඒ වගේම ලංකාවේ සියලුම පොත්හල් හිමියන් සහ ප්‍රකාශන සමාගම් දැන් online ක්‍රමයට කටයුතු කරනවා. පොත්හලකට ගිහිල්ලා පොතක් ගන්න වගේම ගෙදරට තැපෑලෙන් හෝ කූරියර් සර්විස් එකකින් එන පොතක් කියවන්නත් මගේ නම් තියෙන්නේ එකම වගේ ආසාවක්. 

 

ඔබ විදේශගත ශ්‍රී ලාකික පාඨකයා සමග වැඩිපුර ගනුදෙනු කරන කෙනෙක්.ලංකාවේ ජීවත් වන පාඨකයාට වඩා විදේශ ගත පාඨකයන්ගේ සාහිත්‍ය පිපාසාව බලවත්ද?

පවතින ආර්ථික තත්වය යටතේ  පොතක් මිලදීගෙන කියවීමට අපේ රටේ පාඨකයන්ට ඉතාම අසීරුයි . පිටරට සිටින අපේ අයට අපේ මව් භාෂාවෙන් කටයුතු කරන්නට තිබෙන මාධ්‍ය බොහෝ අඩුයි. මේ නිසාම ඔවුන් ලංකාවෙන් පොත් ගෙන්න ගන්නවා. ඒ බොහෝ දෙනාගේ නිවාඩුව වැය කරන්නේ පොත් කියවන්න. පොතක් මිලදී ගන්න ආර්ථික හැකියාව වගේම පොතක් කියවන්න අවශ්‍ය කරන නිදහස් වටපිටාවක් ඔවුන්ට තියෙනවා. ඒ නිසා වර්තමානයේ විදෙස්ගත පාඨකයන්ගේ කියවීමේ රුචිය වැඩි බව පේන්න තියෙනවා.

 

ඔබ සාහිත්‍ය කලාවේ සමහර අකටයුතුකම් ගැන සෘජුව අදහස් පළ කරන කෙනෙක්.එහෙම අවස්ථාවල තර්ජන එල්ල වෙලා නැද්ද ?

ඒ අකටයුතුකම්වලට එරෙහිව කතා කරන්න ගිහිල්ලා මට මරණ තර්ජන පවා එල්ල වී තිබෙනවා. ඒ වගේම මම කිසිම කල්ට් එකකට අයත් වෙන්නේ නැති කෙනෙක්. ඉතිං ඒ හින්දා මට හුඟදෙනෙක් විරුද්ධව කටයුතු කරනවා. නමුත් පහුගිය කාලයම මම සාහිත්‍ය ක්ෂේත්‍රයේ තියෙන විවිධ අකටයුතුකම් හෙළිකළ නිසා විශේෂයෙන්ම පාඨකයන් වංචාවන්ට හසු වීමේ ප්‍රවණතාව අඩුවුණා. අනික මුල් කාලයේ හතු පිපෙන්නාක් මෙන් බිහි වූ ඇතැම් ප්‍රකාශන සමාගම්වල වංචාකාරී නිරුවත මේ  වනවිට හෙළිවී අවසානයි. ඉතින් දැන් නම් මුල් කාලයේ මට එරෙහිව කටයුතු කළ බොහෝදෙනෙක් තේරුම් අරගෙන තියෙනවා මං කියපු දේවල් සත්‍යයි කියලා.

 

සමහරු ලිවීමේදී තමන්ටම සීමා මායිම් වාරණ දාගෙන තිබෙනවා.ඔබ ලිංගිකත්වය වගේ කාරණා එළිපිට ලියන්න බයද?නැතිනම් රැඩිකල් පන්නයේ ලේඛිකාවක්ද?

සාහිත්‍ය විතරක් නෙමෙයි කිසිම කලාවක් ලිංගිකත්වයෙන් වියුක්ත වෙන්නෙ නැහැ. මානවයා කියන්නේ ලිංගිකත්වයෙන් තොර සත්වයෙක් නෙමෙයි. එහෙත් මම අන්‍යවශ්‍ය විදිහට " කුණුහරුප සාහිත්‍යයේ" යෙදෙන කෙනෙක් නෙමෙයි. මම ලියන්නේ මිනිස්සුන්ගේ සාහිත්‍යමය රසය උද්දීපනයට මිසක් ලිංගිකත්වය නඟා සිටුවීමට නෙමෙයි. මගේ කලාකෘතියක ලිංගිකත්වය ගැන සාකච්ඡා කරන්න අවශ්‍ය අවස්ථාවලදී මම ඒ ගැන ලියනවා. එහෙත් අන්‍යවශ්‍ය විදිහට බලෙන් එල්ලා ලිංගිකත්වය ඔබ්බන්නට මම උත්සාහ කරන්නේ නැහැ. ශෘංගාරය සහ වනචාරිකම කියන්නේ දෙකක් කියලා මම හිතනවා.  මානවයාගේ දියුණුවත් සමග හික්මුණු මිනිසා නැවත ගල් යුගයට අරගෙන යන්න මම මගේ සාහිත්‍යය පාවිච්චි කරන්නේ නැහැ.

 



අදහස් (2)

මම සාහිත්‍ය කල්ලි පස්සේ දුවන්නේ නැහැ - ඉෂූ.එස් වීරවර්ණ

ඉනොකා කුමාරි Wednesday, 10 July 2024 11:46 PM

ඉෂු ඔබ හරි....හැම දෙයක් ගැනම මනා අවබෝධයෙන් යුතුව,ලියනවා..රසාස්වාදය උපරිමයි..ඔබට සුභ අනාගතයකට ආසිරි..ඔබේ පොත් දයාවංශ සමාගමට ත් දමන්න ..අපට පුස්තකාලය ට ගන්න සභා,ප්‍රතිපාදන හරහා..ජය

:       0       1

ඉශූ වීරවර්ණ Saturday, 13 July 2024 08:17 AM

ස්තුතියි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 510 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17144 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 688 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site