ඇය සිංහල සිනමාවේ සරාගිනිය ලෙස සමහරු හැඳින්වූහ. ඒ තරමට ඇයගේ රූපයට, රංගනයට මෙරට බොහෝ දෙනා ආදරය කළහ. ඇය සිනමාවේ ජනප්‍රියත්වයේ ඉහළම සිටියදී මෙරටින් සමුගෙන ඇමෙරිකාව බලා ගියේ මෙරට සිනමා රසිකයන් විමතියට පත් කරමිනි.
ඇය තමන්ගේ ජීවන මග ඉහළට ගෙන ඒම සඳහා එරටට ගිය අතර, අද දවසේදී ඇය එහි ප්‍රතිඵල අත්විඳිමින් සිටින්නීය.
ඇමෙරිකාවේ රූපලාවණ්‍ය උපදේශිකාවක් ලෙස කටයුතු කරන ඇය, තමන්ගේ සන්නාමයක් සහිත නිෂ්පාදන එරටට හඳුන්වා දී තිබෙන අතර, හෙට දවසේදී ඇය මෙරට රසිකයන්ට ද එය හඳුන්වාදීමට බලාපොරොත්තු වන්නීය. මේ කතාව එය ගැන නම් නොවෙයි. එදා මෙන්ම අදටත් රුවැත්තියක්, සරාගිනියක් ලෙස සිටින ඇය වසර 23 කට පසු නැවතත් ලාංකීය සිනමාවට එක්වීම, මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ගේ සතුටට කරුණක් වනු ඇත.
උදයකාන්ත වර්ණසූරියගේ “මේඝ වර්ෂා” චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ඇය පසුගිය දා ලංකාවට පැමිණියේ දින කිහිපයක් වෙනුවෙනි. මේ රුවැත්තිය නමින් ඩිලානි අබේගුණවර්ධනය.
ඇය සමඟ කතාබහ කිරීමේ අවස්ථා මට හිමිවුණි. එදා මෙන්ම අදටත් නිරහංකාර ගතිගුණ ඇති ඩිලානි “රසවින්දන” සමඟ කතා කළේ මෙරටට පැමිණ පළමු පුවත්පත් සාකච්ඡාව ලෙසිනි. එයට තුති පුදමින් අපේ කතාබහ ආරම්භ කළෙමු.
“උදයකාන්ත වර්ණසූරියගේ “මේඝ වර්ෂා” චිත්‍රපටයේ චරිතයක් රඟපාන්න තමයි ලංකාවට මම ආවේ. අවුරුදු 23 කට පස්සේ තමයි මම චිත්‍රපටයක රඟපාන්නේ. මගේ යුතුකම් දැන් ගොඩාක් ඉවරයි. දුව දැන් විවාහවෙලා. පුතා විභාග කරලා ඉවරයි. දැන් තමයි මම නිදහස් වුණේ.
මම ජනප්‍රියත්වයේ සිටින කාලයේදී රට හැර යෑම ගැන දුකක් ඇතිවුණා. ඒත් මට ඒවා දාලා එන්න බැහැ. ගෙදර ලොකුම හයිය වෙලා තිබුණේ මමයි. මම ආවොත් පවුලේ සියල්ල කඩාගෙන වැටෙනවා. විශේෂයෙන් වෙන රටකට ගියාම දරුවෝ ගැන හොඳට බලාගන්න ඕනෑ. නැත්නම් ළමයි වැරැදි දේවල්වලට යොමුවෙනවා. ඒක හින්දා මම ඒවා ඉවසාගෙන මගේ රංගන ජීවිතය ඔවුන්ට කැප කළා.
මුලින්ම ඇමෙරිකාවට ගියාම තේරීමක් කරන්න අපට බැහැ. මුලින්ම “කොෆි ෂොප්” එකක වැඩ කළා. එහි අවුරුද්දයි වැඩ කළේ. ඊට පස්සේ අවුරුදු 22 ක් මම රූපලාවණ්‍ය උපදේශකවරියක ලෙස තමයි වැඩ කළේ. මම ගිය අවුරුද්දේ “Dil world” කියලා මගේම සන්නාමයක් හදලා එළිදැක්වූවා. මේකප් පිළිබඳව අවුරුදු විසි ගණනක පළපුරුද්දක් මට තියෙනවා. වැඩ කළේ, අතගෑවේ ලොව හොඳම බ්‍රෑන්ඩ් එක්කයි. ඒ ආභාසයෙන් මගේ බ්‍රෑන්ඩ් එක හැදුවා. එහේ එළිදැක්වූ ඒ දේ ලංකාවට ගේන්න තමයි මගේ ඊළඟ අරමුණ.
ලංකාවේ පදිංචියට එන්න තවම අදහස් කරලා නෑ. හැබැයි වැඩි ප්‍රමාණයක් ලංකාවට එයි. එහෙත් යන්න ඕනෑ. මොකද මගේ බ්‍රෑන්ඩ් එක මෙරටට හඳුන්වා දුන් පසුත්, රංගන කටයුතුත් නිසා මම වැඩියෙන් ලංකාවට එන්න පුළුවන්.
අවුරුදු 23 කට පස්සේ රංගනයට ආවත් මට වෙනසක් දැනුණේ නෑ. “මේඝ වර්ෂා” චිත්‍රපටයේ අංජලී හා දමිත් එක්ක මම රඟපෑවේ. ඒ ළමයි හරිම හොඳයි. මට හොඳට ගරු කළා ඒ අය. ඉතින් මම එය අගය කළ යුතුයි. ලොකු පිළිගැනීමක් මට තිබුණා. බුද්ධික ජයරත්න මට එරංග සේනාරත්නගේ “මැසෙන්ජර්” චිත්‍රපටයෙත් රඟපාන්න අවස්ථාවක් ලබාදුන්නා. එහිත් රඟපෑවා. තවත් චිත්‍රපටයක රඟපාන්න අවස්ථාවක් මේ හින්දා ලැබුණා. මම ලංකාවට ආවා කියලා දැනගත්ත හින්දා තමයි මේ සියල්ල ලැබුණේ.
තව චිත්‍රපට 2 කට කතා කරලා තිබෙනවා. ඔක්කොම චිත්‍රපට 4 ක් ලැබුණා මේ ටික කාලයට. මම මෙහෙන් යන කාලයේ හොඳට චිත්‍රපට හැදුණා. ප්‍රේක්ෂකයෝ සිනමා ශාලාවලට ආවා. ඇත්තටම හොඳ කාලයක් තිබුණේ. ඊට පස්සේ චිත්‍රපට හැදුණේ නැති තරම්. ලොකු පෝලිමක් ආවා. දැන් එකදිගට චිත්‍රපට හැදෙනවා. ඒවා බලන්න සෙනඟ එනවා. ආපහු සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ඇවිත් වගේ කියලා මට හිතෙනවා. හොඳ වෙලාවට මාත් ආපහු කැරකිලා ඒ කාලෙට ඇවිත් කියා හිතෙන්නේ. චිත්‍රපට හැදෙනවා. ආදායම් ලැබෙනවා. හොඳ අධ්‍යක්ෂවරු ඉන්නවා. දක්ෂ ලස්සන කෙල්ලෝ කොල්ලෝ ටිකක් ඉන්නවා. මම හිතනවා ඉස්සරහට ස්වර්ණමය යුගයක් එයි. හොඳ තැනකට එයි. එතන මාත් ඉන්නවා. ඒකත් ලොකු සතුටක්.
මගේ මහත්තයා නම් කැමති නෑ එච්චර මම රඟපානවාට. හැබැයි දුවයි පුතයි නම් ගොඩාක් කැමතියි. දුව නම් රඟපෑවා. පුතා ඉස්සර දැනගෙන හිටියේ නෑ මම නිළියක් කියලා. ගිය පාර ලංකාවට පැමිණි විටදී තමයි පුතා දැනගත්තේ. එයා දෙපාරක් මා එක්ක ලංකාවට ආවා. එයා මගෙත් එක්ක “ඉන්ටර්වීව්” 2-3 කට ගියා. රසික ප්‍රතිචාර මට ලැබෙන විදිහ ගැන එයා පුදුම වුණා. දැන් එයා දන්නවා මම නිළියක් කියලා. එයා ආසාවෙන් කියන්නේ දැන් දිගටම රඟපාන්න කියලයි. මගේ මහත්තයා (ජනප්‍රිය ගායන ශිල්පී සමන් පුෂ්පවර්ණ) ගෙදර කැරෝකි දාලා තනියම සිංදු කියනවා. අලුත් ගීත කරන්න ලංකාවට එන්න ඕනෑ. එයා තවම ලංකාවට ආවේ නෑ. ඒ හින්දා අලුත් ගීත කළේ නෑ.
මම ඒ කාලේ ඉතාම ජනප්‍රියයි. ඉතින් අවු. 23 කට පස්සේ යළි රඟපාන්න එද්දී මම සිතුවේ බොහෝ දෙනා අඳුරගන්නේ නැතිවෙයි කියලා. නමුත් එහෙම නෑ. මාව හැම තැනකදීම හැමෝම හඳුනාගන්නවා. ඒ ආදරය තියෙනවා. ෆොටෝ ගන්නවා. ඒක මට ලොකු සතුටක්. මම හරිම ආසයි. මොන දේ කළත්, මොන රස්සාව කළත් මගේ තරු ගුණය මම මේන්ටේන් කරගත්තා. මම කවුද කියන එක හැමතිස්සෙම මේන්ටේන් කරගත්තා. ඒක අද වනවිටත් එහෙමම තිබෙනවා. වෙනසක් වෙලා නෑ කියලා තමයි හැමෝම කියන්නේ. පොඩ්ඩක් මහත් වෙලා නම් තියෙනවා.
මම චිත්‍රපට 52 කටත් වැඩිය රඟපාලා තිබෙනවා. ගොඩාක් ප්‍රධාන චරිත නිරූපණය කළේ. ටෙලිනාට්‍ය 22 කට වඩා රඟපෑවා. ඉතින් මම ලොකු දායකත්වයක් කලාවට දීලා තිබෙනවා. ඒ සමහර නාට්‍ය දැන් නැවත විකාශය වෙනවා. මිනිසුන්ට ඒ හින්දා මාව දැන් හොඳට මතකයි.
ලංකාව මම උපන් රට. පුදුම හැඟීමක් තිබෙන්නේ ලංකාවට ආවාම. ඇමෙරිකාවත් ලොකු සාධාරණයක් මට කරලා තිබෙනවා. අවු. 23 ක් දැන් එහේ ජීවත් වෙන්නේ. අපි හොඳට ඉන්නවා. කිසි අඩුපාඩුවක් නෑ. රටවල් දෙකටම මම ආදරෙයි. රසිකයන්ට කියන්න තිබෙන්නේ ඒගොල්ලො මා ගැන තවමත් ආදරේ තියාගෙන ඉන්නවා. ගොඩාක් සන්තෝෂයි. ඉස්සරහට හොඳ නිර්මාණවලින් මාව දැකගන්න පුළුවන් වෙයි. එහේදි මම හිතාගෙන හිටියේ ආච්චි කෙනකුගේ චරිතයක් හරි බැරිම වුණොත් කරන්න මම ලංකාවට යනවා කියලයි. රසිකයන්ගේ ආදරය තමයි මගේ හයිය. ඇමෙරිකාවේදී හරිම කාර්යබහුලයි. එහේදි හොඳ ධාරණ ශක්තියක් තිබෙන්න ඕනේ ජීවිතය ගෙනියන්න. ප්‍රශ්න එනවා. මගේ රසිකයන්ගේ ආදරය ලැබෙනකොට ඒ සියල්ල අමතක වෙනවා. ඒ හයිය තමයි මට තිබෙන්නේ.
මට හැදෙන ගොසිප්, කටකතා මම ගාණකටවත් ගන්නේ නෑ. ඕනෑම කෙනකුට ඕනම දෙයක් කියන්න පුළුවන්. ඒක මට අදාළ නෑ. මට හිතට එකඟ නැති දෙයක් මගේ “ලයිෆ්” එකේ කරලත් නෑ. කරන්නෙත් නෑ. වැරැදි දේවල්වලට මම කැමති නෑ. අයුක්තිය, අසාධාරණය මට පෙන්නන්න බැහැ. ඒ හින්දා මම අනුන්ට වැරැදි කරලා නෑ. නොදැනුවත්ව වෙලා තියෙනවා ද දන්නේ නෑ. අපි හොඳට ඉන්නවා දරාගන්න බැරි අය බොරු නම්වලින් මඩ ගහන්නේ. ඒවා මට අදාළම නෑ. මොනවා කියන්න ද මට දැන් නේද? දැන් මම ආච්චි කෙනෙක්.”
(සමන්ත යහම්පත්)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මගේ රසිකයන් මට හයියක්