වෙසඟ, සිදුහත් කුමරුන් ජන්ම ලාභය ලද අසිරිමත් ලු‍ම්බිණිය පිළිබඳව බැතිබර මතකය බොදුණු සිත් සතන්හි කුළුගන්වන අසිරිමත් සමයකි. එවන් මොහොතක, ත්‍රිපිටකය සහ මෑතකදී සිදු කළ පුරාවිද්‍යාත්මක ගවේෂණයන් හෙළි කළ නව්‍ය හඳුනාගැනීම් ආශ්‍රයෙන් සංග්‍රහ කෙරෙන මෙම ලිපියෙන් පාඨක ඔබට මනසින් ලු‍ම්බිණිය සහ කපිලවස්තු පුර වෙත සමීප වන්නට අවකාශයක් සලසනු නියති.   

“ආනන්ද, ලු‍ම්බිණිය තථාගතයන් ජනිත වූ ස්ථානයයි. එය සැදැහැතියන් විසින් දැකිය යුතු අනිත්‍ය ස්වභාවය පිළිබඳව සම්ප්‍රජානනය හා වටහා ගැනීම ඇති කර ගත යුතු ස්ථානයකි. මෙම ස්ථානය පැදකුණු කරන අයෙකු මරණින් මතු යහපත් ආත්ම භාවයක දෙව්​ලොව උපත ලබනු නිසැක”.   


මෙනයින් මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් පරිදි ගෞතම සිදුහත් කුමරු උපත ලද ලු‍ම්බිණිය. බුද්ධත්වය ලද බුද්ධගයාව, දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ ඉසිපතනාරාමය හා සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ කුසිනාරාව බෞද්ධයින් විසින් දැකිය යුතු, පැදකුණු කළ යුතු අති පූජණීය ස්ථානයන් සේ සැලකේ.   
යථෝක්ත බෞද්ධ කේන්ද්‍රස්ථාන අතුරින් බුදු උපත සිදු වූ, පරම පිවිතුරු ලු‍ම්බිණි පුද බිම පිහිටියේ, නේපාලයේ දකුණු දිශාගතව සීවලින් කඳුකරය පාමුල ටෙරායි ප්‍රදේශයෙහි රුමෙන්දා ගම් පියසෙහිය.   
ලු‍ම්බිණිය ආසන්නයෙහි පිහිටි ගෞතම බුද්ධ නම් වූ ප්‍රාදේශීය ගුවන් ​තොටුපොළට ශ්‍රී ලංකාවේ සිට ඍජු ගුවන් සේවා නොමැත. නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපළෙහි සිට කිලෝමීටර් හාරසීයක දුරින් පිහිටි ලු‍ම්බිණිය ආසන්නයේ පිහිටි ගෞතම බුද්ධ ප්‍රාදේශීය ගුවන් තොටුපළට යා හැක්කේ කුඩා ප්‍රාදේශීය ගුවන් යානයකින් පමණි. ගොඩබිම් මාර්ගයෙන් ලු‍ම්බිණිය වෙත ළඟාවීමේදී යා යුතුව ඇත්තේ හිමාලය පාමුල බෑවුම්, ගංගා මිටියාවත්, ඝන වනාන්තර පසු කරමිනි. ගිරි දුර්ග, ජල දුර්ග පසු කරමින් යායුතු වූ මෙම ගමන් මග අතිදුෂ්කරය. එහෙත් මග දෙපස හරිත වන පරිසරය, එහි සරණ වන සතුන් හා සියොතුන්ගේ නින්නාදය ගමන පුරාවටම අප අවදියෙන් තබන සුළුය. හිමාලය ගිරි පවුරු මුදුනින් ඇදහැළෙනා දැවැන්ත හිම කැටි සහිත ගංගාවන් වෙතින් වහනය වන සිසිලස වන්දනාකරුවන්ගේ ගත තැවරෙන්නේ ඔවුන්ගේ සරතැස නිවාලමිනි.   
සියවස් කිහිපයකට පෙර බුදු උපත සිදු වූ අතිශය හැඟු‍ම්බර අවස්ථාව අප මනසෙහි  උපකල්පනය වන සෙයකි.   


ක්‍රිස්තු පූර්ව 563 හි එක්තරා පැහැබර දිනයකි. පෙරදිග අහසේ වෙසක් පසළොස්වක සඳ මෝදු වෙමින් පැවතිණි. කිඹුල්වත් පුර සිට මහ පෙරහරින් වඩනා පින්වත් මාතාවකි. ඕ මහා මායාවෝය. මහා මායාවන් ගමන් විඩාව දුරකර ගැනීමේ රිසියෙන් ලු‍ම්බිණි සාල වනයට පිවිසියාය. සිහිල් නිල් දිය පිස හැමූ සුළඟ ඇයගේ විඩාව නිවාලීය. තුරු හිස් නෙක මලින් ගැවසිනි. මල් සුගන්ධයෙන්, මහා මායා මාතාවන් සිත කිසියම් ප්‍රබෝධමත් පහන් සිහිවිල්ලක් ජනිත විය. මලින් බරව තිබූ සල් අත්තකින් මලක් නෙළා ගැනීමට ඇය සුරත දිගු කළාය. නිමේෂයකින් මහා මායා කුසින් සිදුහත් කුමරු බිහි වූයේ දෙරණ සලිත කරලමිනි.   
එසඳ සතර වරම් දෙව්වරු බෝසතුනට හිස නමා, ‘‘මහා මායාවනි, ඔබට භාග්‍යවත් පුතකු උපන, තුටුවනු මැනවැයි”. තෙපුළෝය. සිදුහත් කුමරුන් ආශ්චර්යමත් ලෙසින් සත් පියුම් මත පා තබමින් ,   


“අග්ගෝ හමස්මි ලෝකස්ස   
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස   
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස   


අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්බවෝ.” යනුවෙන් උදාන වාක්‍ය තෙපලේය.   
සිදුහත් උපතින් පසුව ලෝකයාට ලු‍ම්බිණිය පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ ක්‍රි.පු. 249 න් පසුවය. ඒ මෞර්ය වංශික ධර්මාශෝක මහා අධිරාජයා සිය රාජාභිෂේකයෙන් විසි වැනි වස ලු‍ම්බිණියට පැමිණ පූජනීය අඩවිය වැඳපුදා ගැනීමෙන් අනතුරුවය.   


කැණීම්වලදී හමුවූ සිදුහත් උපත නිරූපිත ඉපැරණි ගල් කැටයම අශෝක නිරිඳුන් සමග පැමිණි උපගුප්ත මහරහතන් වහන්සේ සිය ඍද්ධි බලය යොමු කර සිද්ධාර්ථ කුමාර උප්පත්තිය සිදු වූ ස්ථානය නිශ්චිත ලෙසම පෙන්වා දෙනු ලැබිණි. අනතුරුව එම ස්ථානයෙහි ස්මාරක ස්ථම්භයක් සහ ශිලා ලේඛනයක් ස්ථාපනය කිරීමට අශෝක අධිරාජයා පියවර ගනු ලැබුවේ මතු එම ස්ථානය ලෝකයාට පහසුවෙන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සලසා දීමේ අභිලාෂයෙනි. ලු‍ම්බිණියේ ජීවමාන සංකේතය ලෙස සැලකෙන මෙම ප්‍රකට ස්මාරකයෙහි මුදුන සතුරු උවදුරුවලින් කැඩී ගොසිනි. එහි වත්මන් උස අඩි 13 1/2 ක් පමණය. සෙල්ලිපියෙහි ‘හිඳ බුද ජානේ’ ශාක්‍ය මුණි මෙහි උපත ලැබීය යන වැකිය සඳහන්ය.   


ධර්මාශෝක අධිරාජයාගේ ලු‍ම්බිණි සම්ප්‍රාප්තියට අනතුරුව ලොව නන්දෙසින් විවිධ දේශ සංචාරකයින් මෙම පුදබිම වෙත පැමිණි බව ඓතිහාසික ලේඛන මගින් සනාථ වේ. සෙංග් සායි (ක්‍රි.ව. 3 වැනි සියවස), ෆාහියන් (ක්‍රි.ව. 4 වැනි සියවස) හා හියුං සාංග් (ක්‍රි.ව. 6 වන සියවස) යන ප්‍රසිද්ධ චීන ජාතික දේශ සංචාරකයින් තිදෙනා විසින් ද ලු‍ම්බිණිය නරඹා ඇත. ඒ අතරින් හියුං සාංගේ දේශාඨන වාර්තාවේ ලු‍ම්බිණිය පිළිබඳ දීර්ඝ විස්තරයක් හමුවේ. සල් ගසේ අක් කොටස, චෛත්‍යයක්, අශෝක කුලු‍න, පුෂ්කරණ පොකුණ, තෙලර් ගංගාව හා ශීත හා උණුසුම් උල්පත්වල ප්‍රභව ස්ථාන ද ඔව්හු දැක ගත් බව සටහන් කර ඇත.   
කත්මණ්ඩුහි මල්ල රාජධානියෙහි බටහිර නේපාල කර්ණාලිහි රිපු මල්ල රජු (ක්‍රි.ව. 1312) ලු‍ම්බිණිය නරඹා, අශෝක කුලු‍න මුදුනෙහි ‘ඕම්මණි පද්​මෙ හූම් රිපු මල්ල චිරං ජයතු’ යනුවෙන් සිය පැමිණීම පිළිබඳව එහි සටහනක් කෙටුම් පත් කළේය.   


කාලයාගේ වැලිතලාවෙන් වැසී, වනගතව පැවති ලු‍ම්බිණිය 1896 සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ එවකට පල්පාහි ආණ්ඩුකාර තැන වූ ජෙනරාල් බඩ්ගා ෂම්ෂර් හා බ්‍රිතාන්‍ය ඉන්දියා  පුරාවිද්‍යා ගවේෂකයෙකු වන ආචාර්ය ඇලෝයිස් ෆර්හර් යන විද්වතුන් දෙපළටය. 1899 දී පී.සී. මුඛර්ජි විසින් කළ කැණීම්වලදී සිදුහත් උපත නිරූපිත මූර්තිය හා අවට වූ ව්‍යුහමය නෂ්ඨාවශේෂ හඳුනා ගනු ලැබිණි. 1932 දී ජෙනරාල් කේෂර් සම්සර් ස්ථූප කිහිපයක් හා ආරාමයන්ගේ නටබුන් සොයා ගනු ලැබීය.   


1956 දී මහේන්ද්‍ර රජතුමා ලු‍ම්බිනිය වැඳපුදා ගැනීමට පැමිණීම, මෙම පූජා භූමියේ නවෝදයක් ඇති වීමට හේතුවක් විය. එතුමා විසින් ලු‍ම්බිණිය සංවර්ධනය උදෙසා යෝජනාවක් ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයට ඉදිරිපත් කළේය. 1967 අප්‍රේල් මාසයේ දී මෙම පුදබිමට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් යූ තාන්ට්, ලු‍ම්බිණිය සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ජාත්‍යන්තර අනුග්‍රහය ලබා දීමට වැඩපිළිවෙළක් සැලසුම් කළේය.   


ඩෙවෙලා මිත්‍රා බාබු, ක්‍රිෂ්ණා රිජාල් ආදී පුරා විද්‍යාඥ ගවේෂකයින් රාශියක් ලු‍ම්බිණිය පුදබිම කැණීම් කර වැළලී ගොස් තිබූ නටබුන් සොයා එය තහවුරු කිරීමට ක්‍රියා කළහ.   


පුරාවිද්‍යා කැණීම් මගින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද මායා දේවි ආරාමය, සම්බුදු උපතේ 2547 වන සංවත්සරය යෙදුණු 2003 මැයි මස 16 වන වෙසක් පුන් පොහෝ දින මහජනතාව වෙනුවෙන් විවෘත කරනු ලැබිණි. එම ආරාමයේ අත්තිවාරමේ නෂ්ටාවශේෂ බිම් මහලේ දැකිය හැකිය. ආරාමය තුළ අශෝක ස්ථම්භයට සමාන්තරව පොළොවෙන් මතු කර ගන්නා ලද, පින්වත් කුමරු මව් කුසින් බිහි වන අවස්ථාව නිරූපිත මූර්තියක් පිහිටියේය. මෙහි ආරක්ෂාව සඳහා තද ඝනකමින් යුත් වෙඩි නොවදින වීදුරුවකින් ආවරණය කර ඇත. සතරවරම් දෙවිවරුන් විසින් කුමරුන් පිළිගැනීම සිදු වූ ස්ථානය ස්මරණය කිරීමට ඉදිකළ ථූප සතරක නටබුන් ද මේ ආසන්නයේ දැක ගැනීමට හැකි වේ.   


සිදුහත් උපත සිදුවූ නිශ්චිත ස්ථානය. (මායා දේවී ආරාමයේ පොළොව යට පිහිටි මෙම පූජනීය ලාංජනය දැඩි ආරක්ෂාව පිණිස, වෙඩි නොවදින වීදුරු තලයකින් ආවර්නිතය.)   
ශ්‍රී ලංකා රජය විසින් ඉදි කළ මනරම් ශ්‍රී ලංකාරාමය.   


ඉතා මෑතකදී එංගලන්තයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ රොබින් කනිංහැම් ප්‍රධාන පුරාවිද්‍යා කණ්ඩායමක් විසින් මායා දේවි ආරාමය ඇතුළත භූමියෙහි කරන ලද කැණීම් මගින් විස්මිත තොරතුරු ගණනාවක් අනාවරණය විය. දැනට පවතින මායා දේවි විහාරයේ අඩිතාලමට යටින් භූගර්භයේ පැරණි විහාර ගෘහයක් මෙම කැණීම්වලදී සොයා ගෙන ඇත. භූගර්භයෙන් මතු වූ ගොඩනැගිල්ල මහා මායාවන් සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ තිබුණා යැයි සැලකෙන ඓතිහාසික සල්ගස ආවරණය කර තැනූ බෝධිඝරයක් විය හැකි බව ඔවුහු ප්‍රකාශ කරති. එහි ගරාදි වැටක නටබුන් හමුවී ඇත. ඒ මධ්‍යයෙහි තිබූ වළේ සල් වෘක්ෂයේ දිරාගිය කොටස් මතු කර ගැනීමට ද ඔවුන් සමත් වී ඇත. හමු වූ පුරාවස්තු කාබන් සමස්ථානිකය යොදා පරීක්ෂණයට බඳුන් කළ අවස්ථාවේ එහි අතීතය ක්‍රි.පු. 550 තරම් ඈතට දිවයන බව අනාවරණය විය.   


සිදුහත් කුමරුන් අභිනිෂ්ක්‍රමණය කළ, සුදොවුන් මාලිගයේ, සංරක්ෂණය නොකළ ආරක්ෂක  ප්‍රාකාරය (ඉහළ) බුදු සමිදුන් වැඩ වාසය කළ නිග්‍රෝධාරාමයේ අනාරක්ෂිත නටබුන් 1978 දී ​කොන්සෙන්ටැංගෝ ලු‍ම්බිණි, මූලික සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම ඇරඹිණි. එම සංවර්ධන සැලැස්මට අනුකූළව ලු‍ම්බිණිය පූජා භූමිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය ප්‍රධාන කලාප තුනට වෙන් කරනු ලැබිණි. ලු‍ම්බිණි ග්‍රාමය, ආරාමික කලාපය හා පූජනීය උද්‍යානය වශයෙන් එම කලාප 3 නම් කෙරිණි. තෙලර් ගංගාව අසබඩ පිහිටි පූජනීය උද්‍යානයට අශෝක ස්ථම්භය මැදිකරගෙන මායා දේවි ආරාමය, පුෂ්කර පොකුණ හා ඒ අවට පිහිටි නටබුන් සහිත ප්‍රදේශය ඇතුළත්ය. පූජනීය උද්‍යාන කලාපය හා ලු‍ම්බිණි ග්‍රාමීය කලාපය මධ්‍යයේ ආරාමික කලාපය පිහිටියේය. විවිධ ජාතීන් ලු‍ම්බිනිය වන්දනා කිරීමට පැමිණි විට ඔවුනට නවාතැන් ගැනීම හා තම රටට ආවේණික අන්දමින් ආරාම පිහිටුවා ගැනීම පිණිස බිම් කැබලි 41ක් වෙන්කර ඇත. මෙහි නැගෙනහිර තීරුවෙහි පිහිටි බිම්කොටස් ථෙරවාදී ආරාම සඳහා ද, බටහිර තීරුව මහායාන ආරාම සඳහා ද වෙන් වී ඇත.   
බුදුන් වහන්සේ වැඩි කලක් වැඩ සිටි නිග්‍රෝධාරාමයේ ගල් කැටයම්, මෙතෙක් නිසි ලෙස සංරක්ෂණය නොකිරීම නිසා විනාශ වෙමින් පවත්නා ඛේදණීය ස්වභාවය.   


ථෙරවාදී ආරාම පිහිටි නැගෙනහිර තීරුවෙහි ශ්‍රී ලංකා රජය විසින් ඉදි කළ මනරම් ශ්‍රී ලංකාරාමය පිහිටියේය. ලු‍ම්බිණිය වන්දනාමාන කිරීමට යන ශ්‍රී ලංකා බොදු බැතිමතුන් අතරෙන්, ලු‍ම්බිණිය ආසන්නයේ කපිලවස්තු පුර පිහිටි අතිශයින්ම වැදගත් ඉපැරණි බොදු සිද්ධස්ථාන හා නටබුන් දැක බලා වැඳපුදා ගැනීමට යොමු වන්නේ ඉතා සුළු පිරිසක් බව ද නිරීක්ෂණය වේ. ඊට මූලික හේතුව වැඩි පිරිසක් ඒ පිළිබඳව දැනුවත් නොවීම බව ද අනාවරණය වේ. බුදුන්වහන්සේ වැඩි කලක් ජීවමානව වැඩ සිටි නිග්‍රෝධාරාමය, සිදුහත් කුමරුන් මහබිනික්මන කළ රජවාසල නැගෙනහිර ප්‍රකාරය ආශ්‍රිත බිහිදොර, සුදොවුන් මාලිගාවේ නටබුන්, සුදොවුන් නිරිඳුන්ගේ හා මහාමායා දේවියගේ භෂ්මාවශේෂ තැන්පත් කළ දාගැබ් යුග්මය, රාහුල කුමරුන් පැවිදි කළ කුටිය, බුදුන් වහන්සේ වෙත පැන් සැපයීමට සැකසූ සරකුප ළිඳ ආදී බුදු සිරිත හා සබැඳි ස්මාරක රාශියක් ලු‍ම්බිණි පුද බිම ආසන්නයේ පිහිටි කපිලවස්තු පුරවරයෙහි ජීවමානව දක්නට ලැබේ.   


මහා මායා දේවියගේ භෂ්මාවශේෂ තැන්පත් කළ, සංරක්ෂණයට බඳුන් නොවූ ස්තුපය.   


ලු‍ම්බිණිය මැනවින් සංරක්ෂණය කර තිබුණ ද, කපිල වස්තු පුරයෙහි පිහිටි බුදු සිරිපා පහස ලද ඉහත සඳහන් කළ ස්ථාන කිසිසේත් සංරක්ෂණය කර නොමැත. පැරැණි කැටයම් සහිත   
නීග්‍රෝධාරාමය ඇතුළු සම්බුදු පහස ලද සෙසු අතිශයින්ම වටිනා පුරා වස්තු, අව්වට සහ වැස්සට නිරාවරණයව විනාශ වෙමින් පවතින අයුරු අපට සියැසින් දැක බලා ගැනීමට හැකි විය.   
එම පුරා වස්තු අවුරුදු දශකයක් වැනි සුළු කාලයකදී සහමුලින්ම විනාශ වී යාමට ඉඩ ඇති බැව් මෙහිදී සංවේගයෙන් සිහිපත් කළ යුතුව ඇත. ජීවමාන සිරි සම්බුදු සිරිත හා සබැඳි යථෝක්ත ඓතිහාසික ස්ථාන අනාගත පරපුර වෙනුවෙන් මැනවින් සංරක්ෂණය කිරීම පිණිස යුනෙස්කෝ   
ආයතනයේ අනුග්‍රහය සහිතව ජාත්‍යන්තර මතයක් ගොඩනැගීමෙහිලා ශ්‍රී ලංකාව ප්‍රමුඛ සියළුම බෞද්ධ රටවල මැදිහත්වීමේ කාලින අවශ්‍යතාව මෙහිදී සනිටුහන් කරනු රිසියෙමි. 

 

 

සටහන
ආචාර්ය ගාමිණී 
කාරියවසම්