කපුටු සරින් 

ජීවිත කාලය පුරා කපුටාට සිටින්නේ එක් සහකරුවෙකු පමණි. දින 28-30 පමණ වන විට කුරුලු පැටවුන්ට කූඩුවෙන් පියඹා යා හැකි වුවද මාපිය පක්ෂීන් විසින් දින 60ක පමණ කාලයක් පැටවුන්ව පෝෂණය කරනු ලැබේ. කපුටු ලෝකය තුළ පවතින මව් සෙනෙහස මහිම මෙමගින් කදිමට ප්‍රදර්ශිතය . කපුටන් වියපත්වූ පසු, තමන් සෙනෙහසින් හදා වඩා ගත්, වැඩිහිටි කපුටු දෙමාපියන් පෝෂණය කිරීමට කපුටු දරුවන් ඔවුන් කරා පැමිණෙන බව සත්ව විද්‍යාඥයින් පැවැත්වූ විවිධ පර්​ෙ‌ය්ෂණවලින් අනාවරණයවී තිබේ. කපුටෙකුගේ සාමාන්‍ය ආයු කාලය වසර 14-15 ලෙස සැලකේ.

ගාලු‍ මුවදොර විරෝධතාකරුවන් මුවගින් නිරතුරු විහිදෙන ‘‘කපුටු කාක් කාක් කාක් ...” යන විනෝදකාමී පාඨය නිර්මාණය වූයේ, කිසියම් දේශපාලනඥයෙකුගේ නොදන්නාකම පිළිබඳ උපහාස රසය මතු කරන්නටය.  

ඩේලි මිරර් යූටියුබ් නාලිකාව සමග පැවති සාකච්ඡාවකදී ‘කපුටාස් හැව් හිට් ද ප්ලේන්’ යනුවෙන් සිංහල ඉංග්‍රීසි මිශ්‍ර කර කථාකිරීම නිසා මෙම දේශපාලනඥයාගේ ඉංග්‍රීසි දැනුම මුලින්ම සමාජ මාධ්‍ය තුළ උපහාසයට නැගුණි.  


මෙම පාඨයේ සැබෑ නිර්මාතෘවරයා නැසීගිය සිනමා නළු ප්‍රෙඩී සිල්වාය.  


‘නැව ගිලු‍ණත් බෑන් චූන්’ චිත්‍රපටය සඳහා ප්‍රෙඩී ගායනා කරන අතිශය ජනප්‍රිය ‘කපුටු කාක් කාක් කාක්’ ගීතයෙන් මෙම පාඨය උපුටා ගන්නට ඇතැයි අපට අනුමාන කළ හැකිය.  


වත්මන් තරුණ පරපුර අතර කපුටු හඬ පිළිබදව මෙතරම් උනන්දුවක් ඇතිවූයේ මෙවන් දේශපාලන ප්‍රවණතාවයක් මත වුව ද, කපුටු හඬ සහ කපුටාගේ චර්යා රටාව අපේ ඉපැරණි ජන ජීවිතය හා දැඩි ලෙස බද්ධ වී පැවතිණි. කපුටන් අපගේ ජීවිතය සමග බොහෝ සමීප පක්ෂී වෙසෙසකි. මිනිසුන් සමඟ බහුල ලෙස ගැවසෙන බැවින් කපුටා සමාජශීලි විහඟකු ලෙස සලකනු ලැබේ. කපුටා පිළිබදව වර්තමානිකයන් වෙසෙසින් ම තරුණ පරපුර මෙතෙක් අසා නොමැති අප්‍රකට සම්ප්‍රදායික තොරතුරු සමුදායක් ජන ගතව පවතී.  
භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයේ වැඩසිටි කාලයේ ආහාරයට අධික ලොල් බවින් යුතු භික්ෂුවක් උදෙසා දේශිත කපෝතක ජාතකයෙන්, ආහාරවලට මහත් සේ ගිජුවූ කපුටෙකුට අත්වූ ශෝචනීය ඉරණම පැහැදිලි වේ. කපුටු වේශයෙන් සිදුහත් බෝ සතුන් ජන්ම ලැබූ අවස්ථා කිහිපයක් ගැන පන්සිය පනස් ජාතකයේ සඳහන් ය.  


පැරණි පොත්පත්වලටත් ජනප්‍රවාදවලටත් අනුව, කාල වර්ණ පැහැයකට හිමිකම් කී කාවන්තිස්ස රජතුමා කපුටු භාෂාව දැන සිටි බව සඳහන් ය.  


කපුටා කොපමණ ආහාර ගත්තත් නිරතුරුවම සාගින්නෙන් පෙළෙන කෑදර පක්ෂියෙකි. ලෝවැඩ සඟරාව වන් ඉපැරණි උපදේශ කාව්‍යන්හි පවා, කපුටාගේ කෑදර ස්වභාවය ‘ගඟ යන ඇත් කුණ දැක මස් රසටා - සිඳු මැද වැනසුන මෙන් කපුටා’ යන කවියෙන් අවධාරණයට යොමු කර ඇති සෙයකි. කපුටා යන නාමයේ මූලාරම්භය කපු යන වචනයෙන් බිඳී ආවක් ලෙස පිළිගැනේ. කපු යන්නෙහි අර්ථය කාලවර්ණ යන්නයි.  
“කපුටු කාක් කාක්. ධ්වනිපූර්ණ වදන සිංහල ජන දිවියෙහි අනාදිමත් කාලයක සිට මුල්බැසගෙන පැවති බව සිංහල ජන සාහිත්‍යය පුරාවට දුට හැකිය. ඔබ, අප බිලිඳු වියේ දී, අප නලවන්නට අම්මා ලයාන්විතව ගැයූ නැළවිලි ගීයක් මෙහිදී අපේ මතකයට නැගේ.  


“කපුටු කාක් කාක් කාක් ගොරක දේන් දේන් දේන්  
කපුටගේ කටේ වැල මදුලයි - පුතුගේ කටේ කිරි උගුරයි  
උසි කපුටා....... උසී..”  


කුඩා දරුවන් කෑම කන්නට අදිමදි කරද්දී ළමයින් රවටන්නට පිලට බසින අම්මාලා ‘‘කපුටු කාක් කාක් කාක්’’ කියා කපුටන්ට අඬගසා, කෑම ටික කපුටාට දෙන බව පවසා දරුවන් බය කර කෑම කැවූ අයුරු ද ඔබගේ මතකයෙන් ගිලිහී ගොස් නොමැතිවා නිසැක ය. අප බාල වියේ යමක් ඉල්ලා කරදර කරන විට, එම කරදරයෙන් මිදීමට අම්මා කියන්නේ “ඒක කාක්කා ගෙනිච්චා” කියා ය.  


කාකයෝ ගෝත්‍ර පහකට අයත්වේ.ඒ, බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රීය, ශුද්‍ර, අනත්‍යාජ හා වෛශ්‍ය යනුවෙනි. මෙම පංච ගෝත්‍රයන්ට අමතරව, කපුටා ජීවත් වන ප්‍රදේශයට අනුව, ‘කොළඹ කපුටා’ සහ ‘ගම්බද කපුටා’ යනුවෙන් කණ්ඩායම් දෙකකට බෙදේ. කොළඹ කපුටා ගේ ශරීරයේ පිහාටු තරමක් අළු පැහැයට හුරු ය. නාදය තරමක් මුදු ය. ගම්බද කපුටාගේ මුළු ශරීරයම තද කාල වර්ණයෙන් යුක්ත වන අතර උගේ පිහාටු වෙතින්, අවුල්වූ හිස් රොදක් සේ අපිලිවෙළක් දැකිය හැකිය. ගම්බද කපුටාගේ නාදය ඉතාමත් රළු සහ ගැඹුරු ස්වරයෙන් යුක්ත ය. ජීවිත කාලය පුරා කපුටාට සිටින්නේ එක් සහකරුවෙකු පමණි. ගස් මුදුන් මත අපිළිවෙළ කූඩු තනා ඒවායේ බිත්තර දැමීමත්, පැටවුන් බිහිවන තුරු එම බිත්තර රැකීමත්, පැටවුන් යම්තාක් දුරකට වර්ධනය වන තුරු දෙමාපිය පක්ෂීන් විසින් පැටවුන් පෝෂණය කිරීමත් දැකිය හැකිය. දින 28-30 පමණ වන විට කුරුලු පැටවුන්ට කූඩුවෙන් පියඹා යා හැකි වුවද මාපිය පක්ෂීන් විසින් දින 60ක පමණ කාලයක් පැටවුන්ව පෝෂණය කරනු ලැබේ. කපුටු ලෝකය තුළ පවතින මව් සෙනෙහස මහිම මෙමගින් කදිමට ප්‍රදර්ශිතය . කපුටන් වියපත්වූ පසු, තමන් සෙනෙහසින් හදා වඩා ගත්, වැඩිහිටි කපුටු දෙමාපියන් පෝෂණය කිරීමට කපුටු දරුවන් ඔවුන් කරා පැමිණෙන බව සත්ව විද්‍යාඥයින් පැවැත්වූ විවිධ පර්​ෙ‌ය්ෂණවලින් අනාවරණයවී තිබේ. කපුටෙකුගේ සාමාන්‍ය ආයු කාලය වසර 14-15 ලෙස සැලකේ.  


අතීතයේ ගැමියන් විශ්වාස කළ පරිදි කපුටෙක් නිවසක් මත සිට කරන ස්‌වර ශබ්දය ගෙහිමියාට යහපතක් හෝ අයහපතක් සිදුවීමේ පෙර නිමිත්තක් සේ සැලකේ. ශාන්ත මෘදු ස්‌වරයේ කපුටු හඬ ඉෂ්ඨ නිමිත්තකට ය. රෞද්‍ර කටෝර හඬින් කෑ ගැසීම අයහපතක පෙර නිමිත්තකි.  


කාක්කා යහගුණ පිළිබිඹු කෙරෙන භූමිකාවක් ඉටුකරන පක්ෂියකු බවට ජන විශ්වාසයක් තහවුරුව පවතී. සාමාන්‍යයෙන් කාක්කන් කාක් කාක් ස්වරයෙන් කෑගසන්නේ කෑමක් ලැබුණු විට අනෙක් කාක්කන්ට ඒ බව දැනුම් දී කැඳවා ගැනීම පිණිස ය. මෙම ස්වාභාවය, කපුටාගේ බෙදාහදාගෙන කෑමේ උත්තරීතර සමගි ගුණය ප්‍රකට කරවනසුළු ය. කපුටන්ගේ බෙදාහදාගෙන කෑමේ මෙම සිරිත මූර්තිමත් කරමින් විශ්වවිද්‍යාල සිසුහු නිවසින් රැගෙන එන ආහාර පාර්සලය “කාක්කා” ලෙසින් හැඳින්වීමට හුරුව සිටිති. ඒ අනුසරින්, කාක්කෙක් ගෙනාවා, කාක්කෙක් කනවා ආදී වදන් සරසවි සංස්කෘතියට ආවේනිකව පවතී. කපුටෙක් කෑම කන අවස්ථාවන්හි, විටින් විට වටපිට බලනු ඔබ කෙතෙක් වත් දැක ඇත. කපුටෙක් නොවන, වෙනත් සතෙකු බලා සිටිනු දුටුවහොත්, කපුටා තම අහර පිඩ, නිධානයක් ලෙසින් තම පාදයන් අතර සඟවා ගැනීමට පෙළෙඹෙයි. ඇතැම් විට එය පසුව භුක්ති විඳීමේ අදහසින්, අසල තැනෙක එය සඟවා ඉවත පියඹා යයි.  
කපුටා වෙතින් තවත් ආදර්ශවත් චරිත ලක්ෂණ කිහිපයකින් ම විද්‍යමානිත ය.  


“ඇසෙන්නෙ කා කා හඬ සෑම පැත්තෙන්
නැගෙව් කියන්නා වැනි වහාම නින්දෙන් ” 

 
කපුටා දරුවන්ට , උදෑසනින් අවදි කරවීමේ රාජකාරියෙහි ද නියැළී සිටින බැව්, මුනිදාස කුමාරතුංග ශුරීන්ගේ ශික්ෂා මාර්‍ගය පොතෙහි දැක්වෙන තත් පද්‍යයෙන් මොනවට පැහැදිලි වේ.  


කපුටා සියුම් බුද්ධියක් හා මතකයක් හිමි, දක්ෂතම පක්ෂියෙකි. ජෛව විද්‍යාත්මක වශයෙන් පක්ෂියාගේ සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව විශාල මොළයක් කපුටාට හිමිව පැවතීම ඊට හේතුවකි. කපුටන් යමක් කිරීමට පෙර, අවට පරිසරයේ පවත්නා තක්ත්වය ඉතා නිවැරදිව තක්සේරු කරන බව දක්නට ලැබේ. තමාට හිරිහැර කළ හෝ තර්ජනයක් වන පුද්ගලයෙකුගේ මුහුණ කපුටාට මුළු ජීවිත කාලය පුරාම මතක තබා ගත හැකි බව සත්ව විද්‍යාඥයින්ගේ නිගමනයයි. කපුටු පක්ෂීන් ඔවුන්ගේ දෛනික ගැටළු විසඳීමේ කුසලතා සහ විශ්මයජනක සන්නිවේදන කුසලතාවලින් හෙබි බව පර්යේෂකයින් විසින් හඳුනාගෙන ඇත. කපුටන්ගේ බුද්ධිය අවුරුදු හතක මිනිස් දරුවෙකුගේ බුද්ධියට සමාන බව, වැන්ඩර්බිල්ට් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු වන සුසානා එච්. හොසෙල් පර්යේෂණයක් මගින් සනාථ කර ඇත.  


ඇ​ෙමරිකානු පර්යේෂණ කණ්ඩායමක් විසින් මෑතකදී මෙහෙයවූ පර්යේෂණයක දී හෙළිවී ඇත්තේ, කපුටන් කුහුඹු ගුල් මත සිටගෙන කුහුඹුවන්ට තම පියාපත් අතර සැඟවීමට අවස්ථාව සලසා දෙන බවය. තම පියාපත් තුළ ගැවසෙන කුහුඹුවන්ගේ ශරීරයෙන් නිකුත් වන ෆෝමික් අම්ලය සිරුරේ තැවරීමෙන් කපුටන් කිසියම් ආශ්වාදනීය උත්තේජනයක් ලැබීම මෙයට හේතුවූ බැව් ද අනාවරණය විය.  


 සිංහල අලු‍ත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ අවස්ථාවේදී, ‘කළු කපුටා සුදු වනතුරු - මෝල් ගහේ දළු ලන තුරු සිය වසරට දෙසිය වසක් - ආවඩා... ආයුබෝ වේවා...’ යනුවෙන් නව වසරට ආශීර්වාද කර දිගාසිරි පැතීමේදී, කපුටා නිතැතින් ම අපේ වැඩිහිටියන්ට සිහිපත් විය. සිංහල අවුරුදු සමයේ සකසන කැවුම්, කොකිස් වැනි අවුරුදු අවුල්පත්, ආහාර අනුභවයට පෙර, අලු‍ත් කුල්ලක අතුරා, අළු බොක්කා වෙනුවෙන් වත්ත පහළ ගසක් යට තැබීමේ ඉපැරණි චාරිත්‍රයක් පවතී. කැවිලි ඇතිරූ කුල්ල අද්දර, පරණ අවුරුද්දේ භාවිතා කළ කොස්සක් තැබීමට ද ගැමියන් අමතක නොකළහ. සියනෑ කෝරලයේ හාපිටිගම් පත්තුවේ ගැමියන් මෙම චාරිත්‍රය මේ දක්වා අනුගමනය කරන බව, හාපිටිගම් පත්තුවේ, කුඩගම්මන වැඩිහිටි ගම්දෙටුවකුගෙන් දැනගන්නට ලැබිණි. එගම අළු බොක්කා නමින් ව්‍යවහාර කරනුයේ කපුටු පක්ෂියාටය. පෙර දවස සිංහල අවුරුදු සමයේ ළමා ළපැටියන් සෙල්ලම් කරන විට “මෙහෙම කැවුම් කොහෙන්දා - කපුටු හොටෙන් ඇහින්දා” කියමින් අප්පුඩි ගසමින් නැටූ විලාශය අපට සිහිපත් වේ. අතුරු මිතුරු ක්‍රීඩාවේ දී ගැයෙන “උසි කපුටා උසී” යන වදනින්, ළමා මනසෙහි කපුටා අමතක නොවන පක්ෂියෙක් ලෙස සනිටුහන්ව තිබූ බව ගම්‍ය වේ.  


අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකික ජන ජීවිතයට බෙහෙවින් ම සමීප පක්ෂියෙක් වන කපුටා ගේ කපුටු කාක් කාක් හඬ මේ දිනවල නිරන්තරයෙන්ම අප සවන් දැවටෙන මන්ත්‍රයක් හා සදිසි ය. කපුටා හිමිදිරි උදයේ අප නින්දෙන් අවදි කරන්නේ කපුටු කාක් හඬිනි. මෙතෙක් නිද්‍රාශීලීව සිටි නිර්පාක්ෂික ජනතාව නිද්‍රාවෙන් අවදි කරවා, ජනතාවාදී රාජ්‍ය යාන්ත්‍රණයක් බිහිකරලීමේ ජනමතයක් ගොඩනගා ගැනීමේ අභිලාශය සාක්ෂාත් කර ගැනීම පිණිස වත්මන් නිර්පාක්ෂික තරුණ පරපුර, “කාක් ...කාක් හඬ තේමා පාඨයක් කරගැනීම බෙහෙවින් අර්ථාන්විත ය.

 

 

සටහන
ආචාර්ය ගාමිණී කාරියවසම්