IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ලෝකයේ උසම ක්‍රීඩිකාවට සිකුරු ලබයි

තර්ජනී සිවලිංගම් හා ආර්. ප්‍රසාත්​ චෙන්නායි නුවරදී විවාහ ගිවිසගැනීමෙන් පසුව..


ශ්‍රී ලංකා දැල්පන්දු (නෙට්බෝල්) කණ්ඩායමේ වසර 15 කට වැඩි කාලයක් නිත්‍ය පන්දු විදින්නිය ලෙස කටයුතු කළ ලෝකයේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස දැනටත් සැළකෙන තර්ජනී සිවලිංගම් චෙන්නායි නුවරදී විවාහ ගිවිස ගැනීම පසුගිය සදුදා (17) වාර්තා විය. අඩි 6 අඟල් 9 ක් හෙවත් සෙන්ටිමීටර් 206 ක් උසැති මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව යුග දිවියට එළඹෙන විට ඇගේ වයස 45 ක් වූවාය.

ලෝක වාර්තා පොතේ මෙම ක්‍රීඩිකාවට හිමි සෙසු වාර්තාව වූයේ වසර 2022 දී ඇය අවසන් වරට සහභාගි වූ ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලිය වන 13 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියට සහභාගි වන විට ඇය ලෝකයේ ජ්‍යෙෂ්ඨතම නෙට්බෝල් ක්‍රීඩිකාව බවට පත්ව සිටීමයි.

වසර කීපයකට පෙර සිට දැන හඳුනාගෙන සිටි චෙන්නායි නුවර වැසියෙකු වන ආර්. ප්‍රසාත් මහතා තර්ජනීගේ අත ගත් මනාලයායි. ඔහු වෘතියෙන් ව්‍යාපාරිකයෙකි. හින්දු චාරිත්‍රානුකූලව පසුගිය සඳුදා එම යුවළ විවාහ ගිවිස ගැනීම සිදු විය.

ඒ සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හා නිලධාරිනියන් පිරිසක්ද ආරාධනා ලබා තිබූ බව වාර්තා විය. තර්ජනීගේ අත ගත් මනාලයා ඇය තරම් උස නොවුණත් ඔහුත් අඩි 6 කට ආසන්න උස පුද්ගලයෙකි.

ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාවට අනූපමේය මෙහෙවරක් කළ තර්ජනීගේ විවාහ ගිවිස ගැනීම දැනගත් මොහොතේ පටන් ඇයට මුහුණු පොත (ෆේස් බුක්) ඔස්සේ විශාල පිරිසක් සුභ පැතුම් එක් කර තිබුණි.

වසර 2009 සිට ඇය ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට නිත්‍ය ක්‍රීඩිකාවක් ලෙස එක්වීමෙන් පසුව ඇය ජාත්‍යන්තර තරග බිමෙන් නිල වශයෙන් ඉවත්වූ 2022 දක්වා සහභාගි වූ ආසියානු කුසලාන තරගාවලි ගණන පහකි. එතෙක් ඇය සහභාගිවී තිබූ ලෝක කුසලාන තරගාවලි ගණන හතරකි.

2019 දී තර්ජනී ජාත්‍යන්තර නෙට්බෝල් තරග 100 කට සහභාගිවීම සම්පූර්ණ කළේ එවැනි දස්කමක් කළ පළමු ශ්‍රී ලාංකික දැල්පන්දු ක්‍රීඩිකාව වීමෙණි. ආසියානු කුසලාන තුනක් (2009 - 18 - 22) දිනා ගැනීමේදී ශ්‍රී ලංකාවට තීරණාත්මක සාධකය වූයේ තර්ජනීය.

 අසාමාන්‍ය උස මුල් අවධියේ ඇයට කරදරකාරි වූවත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට එක්වීමෙන් පසුව එය ආශිර්වාදයක් වූ බව පසු කාලයේදී ඇය සඳහන් කර තිබුණි. මේ නිසාම ඇගේ විවාහය බොහෝ ඈතකට ගිය අතර ඒ ඇගේ උසට ගැලපෙන මනාලයෙකු සොයා ගැනීමේ දුෂ්කරතාවයි.

උස නිසාම ලෝකයේ දක්ෂතම දැල්පන්දු විදින්නිය ලෙස සම්මාන දිනා ගත් තර්ජනී එසේ දිනා ගත් ප්‍රධානතම ජාත්‍යන්තර සම්මාන මෙසේය.

2011 - ලෝකයේ හොඳම දැල්පන්දු විදින්නිය, 2009 හා 2012 - ආසියානු හොඳම දැල්පන්දු විදින්නිය, 2017 ඕස්ට්‍රේලියාවේ සිටි ෆැල්කන් (…..ජසඑහ f්කජදබ...) ක්‍රීඩා සමාජ හොඳම දැල්පන්දු විදින්නිය, 2018 ආසියානු කුසලාන හොදම ක්‍රීඩිකාව, 2019 එස්.එල්.ටී. මොබිටෙල් වසරේ ජනප්‍රියතම ක්‍රීඩිකාව හා 2022 හොඳම ක්‍රීඩිකාවට හිමි මාලදිවයින් රජයේ සම්මානය.

ඇය ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමෙන් පසුව ජාත්‍යන්තර තරග වලදී මේ දක්වා ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු වලින් සියයට 90 කටත් වඩා ලබාදී ඇත්තේ ඇය විසිනි.

වසර 2017 සිට ඕස්ට්‍රේලියාවේ සිටි ෆැල්කන් ක්‍රීඩා සමාජයට බැඳී එහි වෘත්තීය ක්‍රීඩිකාවක් ලෙස කටයුතු කරන තර්ජනී 2022 සිංගප්පූරුවේදී පැවැති ආසියානු දැල්පන්දු තරගාවලියට කෙළින්ම එහි සිට කැඳවීමට ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය කටයුතු කළේය.

තර්ජනී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මේ වන විට ඉවත්ව සිටියත් මෙම වසරේ සෞදි අරාබියේදී පැවැත්වෙන 14 වැනි ආසියානු දැල්පන්දු තරග සංචාරයට නිර්දේශ කර තිබෙන ශ්‍රී ලංකා සංචිතය සඳහාත් ඇය මේ වන විට කැඳවීම් ලබා තිබේ. නමුත් ඇය ප්‍රකාශ කර ඇත්තේ තමාගේ කාලය ඉක්මවා ගොස් ඇති බැවින් නැවැත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අදහසක් තමා තුළ නොමැති බවයි.

තර්ජනී ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය 2004 දී හඳුනා ගන්නේ අහඹු ලෙසය. එම වසරේදී වවුනියාව මහජන ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික දැල්පන්දු තරගාවලියට මඩකළපුව විශ්වවිද්‍යාල කණ්ඩායම සමග සහභාගිවී සිටි ඇගේ අසාමාන්‍ය උස නිසාම ඇය දැල්පන්දු සම්මේලනයේ අවධානය දිනා ගත්තාය. මෙම අවධියේ නෙට්බෝල් සම්මේලනයේ සභාපති ධුරය දරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියයි.

එහිදී ඇය ජාතික සංචිතයට බඳවා ගැනීමේ සම්බන්ධීකරණ කටයුතු ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් පැවැරුවේ එවකට දැල්පන්දු සම්මේලනයේ නියෝජ්‍ය සභාපතිනිය වූ ට්‍රික්ෂි නානායක්කාර මහත්මියටයි.

කෙසේවුවත් භාෂා ප්‍රශ්න මුල්වීමෙන් එය ඉතා දුෂ්කර වූ බව නානායක්කාර මහත්මිය පැවැසුවාය. නමුත් ඇගේ පෙරැත්තය මත එවකට ජාතික දැල්පන්දු පුහුණුකරු වූ ලූඩ්ස් ජයසේකර මහත්මිය යටතේ කොළඹ නේවාසික පුහුණුවීම් සදහා සහභාගි වීමෙන් එම ප්‍රශ්නය විසඳුණි.

වවුනියාවේදී තර්ජනී දැන හඳුනාගත් තරගාවලියේදී ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයට අකරතැබ්බයකට මුහුණදීම තවත් සිදුවීමකි. මෙසමයේ රජය හා කොටි සංවිධානය අතර සටන් විරාමය ක්‍රියාත්මක වෙමින් පැවැතුණි.

එහිදී කොටි සංවිධානයේ දැඩි බලපෑම් වලට නතුව තිබූ වවුනියාව නගරයේදී මෙම දැල්පන්දු තරගාවලිය සංවිධානය කිරීමේදී ඊට ජාතික කොඩිය මෙන්ම ජාතික ගීය යොදා ගැනීම කොටි සංවිධානය තහනම් කර තිබුණි. දේශපාලකයන්ට ආරාධනා කිරීමද ඔවුන්ගේ එවැනිම තහනමකි. මෙම දැනුම්දීම් හා සාකච්ඡා කිරීම් සඳහා අවස්ථා කීපයකදීම දැල්පන්දු සම්මේලනයේ නිලධාරිනියන් වවුනියාව නගරයේ ස්ථාපිත කර තිබූ එල්.ටී.ටී.ඊ. කාර්යාලයට කැඳවනු ලැබීය.

මේ තත්වය තවත් උණුසුම් වූයේ තරගාවලියට ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු ආරාධිතයන් සහභාගිවී සිටින අතර සන්නද්ධ කොටි සෙබළු‍න් හා සෙබළියන් ක්‍රීඩාංගණයේ සැරිසරමින් හැසිරීමය.

මෙවැනි කාරණා රැසක් මැද තර්ජනී සිවලිංගම් නැමැති ලෝකයේම අවධානය දිනාගත් ක්‍රීඩිකාවගේ පිටියට පැමිණීම සිදු විය. යාපනයේ පුන්නලෙයි කඩ්ඩුවාන් ප්‍රදේශයේ උපන් තර්ජනී සිවිල් යුද සමයේදී යාපනය අත් හැර මඩකළපුවේ තාවකාලිකව පදිංචියට පැමිණ තිබේ.

ඇයට සහෝදර සහෝදරියන් පස් දෙනෙකි. මඩකළපුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරීනියක් වන ඇය ජාතික දැල්පන්දු සංචිතයට එක්ව සිටින සමයේ සෙලාන් බැංකුවේ සහායිකාවක් ලෙස රැකියාවේ නිරත වූවාය.

තර්ජනී විවාහයෙන් පසුව තවදුරටත් ඕස්ට්‍රේලියාවේ වෙසෙමින් ක්‍රීඩා කිරීමට තීරණය කර ඇතැයිද වාර්තාවේ.


■ නාමල් පතිරගේ


 



අදහස් (0)

ලෝකයේ උසම ක්‍රීඩිකාවට සිකුරු ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 227 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2084 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site