IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අපි අවුරුදු සමරන්නෙ මෙහෙමයි

සිංහල දමිළ අලු‍ත් අවුරුදු නිවාඩුව මෙරට බොහෝ වෘත්තිකයන් විවේකයක් ගැනීම සඳහා ඇස ගසාගෙන සිටින දින කීපයකි. අවුරුදු නිවාඩුව විවේකයෙන් ගතකිරීමට සැලසුම් කරන වෘත්තිකයන් අතර මෙරට වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන් ද ප්‍රධාන පාර්ශ්වයක් බවට පත්ව තිබේ.

එය එසේ වුවද ක්‍රිකට් ක්‍රීඩකයන්ට සිංහල සහ දෙමළ අලු‍ත් අවුරුදු නිවාඩුව විවේකීව ගතකිරීමට අවස්ථාව උදාවන්නේ කලාතුරකිනි. බොහෝ වසරවල සිංහල දමිළ අලු‍ත් අවුරුදු කාලයේ ද ජාතික ක්‍රිකට් කණ්ඩායම විදේශ තරග සංචාරවලට සහභාගි වී සිටින අතර, එහිදී ඔවුන්ට අලු‍ත් අවුරුදු විවේකය ක්‍රීඩාව වෙනුවෙන් කැප කිරීමට සිදුවේ.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන් වූ අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග වැනි ජාතික කණ්ඩායම නියෝජනය කළ සහ වර්තමානයේ ජාතික කණ්ඩායම නියෝජන කරන ක්‍රීඩකයෝ සිංහල දමිළ අලු‍ත් අවුරුදු දිනවල මෙරට රැඳී සිටියහොත් අවුරුදු චාරිත්‍ර ඉටුකරන ආකාරය ද දැකගතහැකි වේ.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් අවුරුදු චාරිත්‍ර ඉටුකර ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමග විදේශ සංචාරවල නිරතවීම ද සාමාන්‍ය පුරුද්දකි.

එම නිසාම වර්තමාන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් මෙවර සිංහල දමිළ අලු‍ත් අවුරුදු නිවාඩුව ගතකරන ආකාරය පිළිබඳව සොයාබැලීමට තීරණය කළෙමු.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ මෑත කාලයේ වැඩිම කතා බහට ලක්වූ චරිතය ලෙස ගැනිය හැකි වර්තමාන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු, හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය ගෙන් එළඹෙන සිංහල දමිළ අලු‍ත් අවුරුදු කාලය ගතකරන ආකාරය පිළිබඳව විමසීමක් කළෙමු.

හෙතෙම “ඉරිදා ලංකාදීප” යට පැවසුවේ අවුරුදු දිනවල ලංකාවේ සිටියහොත් තමන් අනිවාර් යයෙන්ම අවුරුදු චාරිත්‍ර ඉටුකරන බවත්, මෙවර ද අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමට සූදානමින් සිටින බවත්ය.

“ඇත්තටම පසුගිය වසරක පමණ කාලයේ මම ගොඩක් කාර්ය බහුල වුණා. විවේකයක් නොලැබුණු තරම්. ඒ නිසා සිංහල දමිළ අලු‍ත් අවුරුදු කාල වකවානුව විවේකයක් ගැනීමට අවස්ථාවක් බවට පත්කරගන්න සැලසුම් කර තිබෙනවා.”

“අවුරුදු චාරිත්‍ර අවසන් වූ පසු මම විදේශ සංචාරයකට පිටත්ව යන්න සූදානමින් ඉන්නේ. ඒක දින කීපයක සංචාරයක්. එම දින කීපය විනෝදයෙන් ඉන්න බලාපොරොත්තු වෙනවා” යැයි සනත් ජයසූරිය වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව බිහිකළ තවත් ක්‍රිකට් තරුවක් වන තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මෙවර සිංහල දමිළ අලු‍ත් අවුරුදු කාලය ගතකිරීමට බලාපොරොත්තු වන ආකාරය ද ඔහුගෙන් විමසීමු.

“අවුරුදු කාලයේ අවුරුදු උත්සව රැසකට සහභාගි වීමට ආරාධනා ලැබී තිබෙනවා. මම ඒ සියලු‍ම අවුරුදු උත්සවවලට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා. මට දරුවන් සිවුදෙනෙක් ඉන්නවා. අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් ලැබෙන විවේකය දරුවන් සමග ගතකිරීමට අනිවාර් යන්ම කටයුතු කරනවා” යැයි මැතිව්ස් සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන දසුන් ශානක, සිංහල දමිළ අලු‍ත් අවුරුදු කාලය ගතකරන ආකාරය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

“මගේ ගම වන මීගමුවේදී අවුරුදු චාරිත්‍ර කරනවා. ඉන් පසුව මගේ පියාගේ ගම වන අම්බලන්තොට ප්‍රදේශයට යෑමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. අම්බලන්තොට සිටින ඥාතීන් සමග සතුටින් අවුරුදු සමරන්න හිතාගෙනයි ඉන්නේ” යැයි දසුන් සඳහන් කළේය.  

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙණෙනම ආරම්භක පිතිකරු වන පැතුම් නිස්සංක අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමට සිය උපන් ගම වන කළුතර යෑමට සූදානමින් සිටියි.

කළුතර මහා විද්‍යාලයෙන් ක්‍රිකට් මුලකුරු හැදෑරූ පැතුම් ජාතික කණ්ඩායම නියෝජන කිරීමෙන් පසුව කොළඹ පදිංචියට පැමිණියේය. ඒ අනුව ඔහුට කළුතරට ගොස් දින කීපයක් ගතකිරීමට කාලය වෙන්කර ගැනීමට මෙවැනි විශේෂ නිවාඩුවක් ලැබිය යුතුමය.

මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් අතරින් කැපී පෙණෙන චරිතයක් වන දුනිත් වෙල්ලාලගේ මෙවර සිංහල දමිළ අලු‍ත් අවුරුද්ද කළගුණ සැලකීමේ උතුම් ගුණාංගය ප්‍රගුණ කිරීමේ කටයුතු සඳහා යොදාගැනීමට සැලසුම් කර තිබේ.

මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ක්‍රීඩා කරන කාලයේ සිට වයස් කාණ්ඩ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කළ දුනිත් බලාගැනීමට සහ ඔහුගේ කටයුතු ඉටුකිරීමට කීපදෙෙනක් කැපවී සිටි බවත්, ඔවුන් මේ වන විට මාතර ප්‍රදේශයේ පදිංචිව සිටින බවත්, දුනිත්ගේ පියා වන සුරංග වෙල්ලාලගේ පැවසීය.

එම පිරිසගේ කැපවීම අගය කරමින් ලබන 14 වැනිදා සිට 16 වැනිදා දක්වා මාතර ප්‍රදේශයේ රැඳී සිටිමින් ඔහුව කුඩා කාලයේ රැකබලාගත් පිරිස සමග කාලය ගතකරන බව සුරංග වැඩි දුරටත් සඳහන් කළේය.  

ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකට මෙවර සිංහල දමිළ අලු‍ත් අවුරුදු සමයේ විවේකීව ගතකිරීමේ අවස්ථාව ලැබුණ ද ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට සහභාගි වී සිටින යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ, පාකිස්තාන් ලීග් තරගාවලියට සහභාගි වන කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා ඇතුළු ක්‍රීඩකයන් කීපදෙනෙක්ට මෙවර ද අවුරුදු විවේකය අහිමි වී තිබේ.

සස්මින් ගමගේ



අදහස් (0)

අපි අවුරුදු සමරන්නෙ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31176 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13334 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10962 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 64 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site