(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති ප්‍රකට දෙමළ කවියකු සහ නවකතාකරුවකු වන දීප චෙල්වන් ප්‍රදීපන් මහතා රචනා කළ කෘතිවල පිටපත් තොගය නිදහස් කිරීමට රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය බවත් සාහිත්‍ය අනුමණ්ඩලයේ අනුමැතිය ප්‍රකාශ කරන ලිපිය ලැබුණු පසු රේගු පනතට අනුව කෘති පිටපත් තොගය නිදහස් කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා මහතා ‘ලංකාදීප’යට අද (20) පැවසීය.

රේගු දෙපාර්තමේන්තුව පොත් පමණක් නොව වෙනත් ද්‍රව්‍යය ද කිසියම් හානියක් වන්නේ දැයි සැකය මත රඳවා ගැනීම සාමාන්‍ය තත්වක් බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා අදාල භාණ්ඩය හෝ ද්‍රව්‍යය අදාල වන නියාමන ආයතනයේ හෝ ආයතනවල අනුමැතිය ලැබුණු පසුව අදාල භාණ්ඩය හෝ ද්‍රව්‍යය නිදහස් කරන බව ද සඳහන් කළේය. රේගු දෙපාර්තමේන්තුවට ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් සීමාවන් ඇති අතර උදාහරණයක් ලෙස කිසියම් පොතක අන්තර්ගතය තුළ මහජන කැළඹීමක් ඇතිවීම, කිසියම් ආගමකට හෝ ආගමික ශාස්තෘවරයෙක්ට හානියක් වන්නේ නම් එවැනි පොතක් භාරයට ගෙන සාහිත්‍ය අනුමණ්ඩලයේ අනුමැතිය ගැනීම අනිවාර්ය බවත් එය සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වීම නිසා කිසිවකු කළබලවීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඒ මහතා කීය.

දීප චෙල්වන් ප්‍රදීපන් මහතා රචනා කළ කෘති හතරක පිටපත් 360 ක් ශ්‍රී ලංකා රේගුව පසුගිය මාර්තු මස 18 වැනිදා රේගු භාරයට ගෙන ඇති අතර එම කෘති භාරයට ගැනීම පිළිබඳව මාර්තු මස 27 වැනිදා ලේඛකයාට දැනුම් දී තිබේ.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා සහ රේගු අධ්‍යක්‍ෂ අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ යන මහත්වරුන්ගේ සහභාගිත්වෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැති අතර එහිදී ගැටලුව හැකි ඉක්මණින් විසදීමට දෙපාර්ශවය එකඟවී තිබේ.

ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය මෙම ගැටලුවට මැදිහත්ව එය විසඳාගැනීමේ කටයුතු කරමින් සිටින අතර රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය තුළ මෙම සිද්ධිය පිළිබඳව ඇතිවූ මතගැටුමක් හේතුවෙන් එහි සාමාජිකාවක් වන ප්‍රවීණ ලේඛිකා මාලති කල්පනා ඇම්බ්‍රෝස් මහත්මිය එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.