කෘෂිකර්මය, ධීවර, ඇතුළු  වෙනත් ක්ෂේත්‍ර සඳහා  QR කේත ක්‍රමයක්  කඩිනම්ව ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් ඇතුළු ඒ ඒ ක්ෂේත්‍රවලට අදාල රාජ්‍ය නිලධාරීන්ගේ නිර්දේශ මත නිකුත් කළ ලිපියකට ඉන්ධන ලබා දීම වෙනුවට QR ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ  අධීක්ණණය සඳහා පත් කළ කමිටුවේ දී එම තීරණය ගත්තේය.

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී ජනතාවට හිඟයකින් තොරව භාණ්ඩ සැපයීම මෙන්ම භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම වළක්වා ගැනීම ඉලක්ක කර ගනිමින් ඉන්ධන සැපයුම අඛණ්ඩව හා නිසි කළමණාකරණයකින් පවත්වාගෙන යාම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව අමාත්‍ය බිමල් රත්නායක මහතා  මෙහිදී කියා සිටියේය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් යන මහත්වරු සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.