(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීමේ අරමුණින් මෙරට ඖෂධ නිෂ්පාදන සමාගමක් වන යාඩෙන් ලැබොරටරීස් සමාගම ඉතාලියේ මිලාන් නුවර පැවැති සී.පී.එච්.අයි යුරෝප් 2026 ජාත්‍යන්තර ඖෂධ ප්‍රදර්ශනයට පසුගියදා සහභාගී වූවේය.

එම ප්‍රදර්ශනයට ප්‍රදර්ශකයකු ලෙස සහභාගි වූ ප්‍රථම ශ්‍රී ලාංකික ඖෂධ නිෂ්පාදන සමාගම තම සමාගම බව යාඩෙන් ලැබොරටරීස් ආයතනය ප්‍රකාශ කරයි.

ඉකුත් 6 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැති මෙම ප්‍රදර්ශනය සඳහා රටවල් 166කට අධික සංඛ්‍යාවකින් ඖෂධ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් 62,000කට වැඩි පිරිසක් සහ ප්‍රදර්ශක සමාගම් 2,900කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ බව සමාගම සඳහන් කරයි.

මෙම ප්‍රදර්ශනය හරහා ජාත්‍යන්තර ඖෂධ නිෂ්පාදකයන්, බෙදාහැරීමේ සමාගම් සහ ආයෝජකයන් සමඟ නව ව්‍යාපාරික සබඳතා ගොඩනගා ගැනීමටත්, ඖෂධ අපනයනය සඳහා නව වෙළෙඳපොළ හඳුනාගැනීමටත් අවස්ථාව ලැබී තිබේ. මෙරට ඖෂධ ආනයනය සඳහා වැයවන විදේශ විනිමය අඩු කිරීම මෙන්ම දේශීයව නිෂ්පාදනය කරන ඖෂධ ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කර විදේශ විනිමය ඉපැයීම සමාගමේ ප්‍රධාන අරමුණක් වී ඇත.

ඒ සඳහා එන්නත් ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය නවීන තාක්ෂණය සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ආයෝජනය කරමින් සිටින බවද සමාගම පෙන්වා දෙයි.