නිරෝෂණ කුමාර

මෙරට උපදින බිලිඳු දරුවන් දාහකින් හය දෙනකුගේ හෘද වස්තු වෙනස්වීමකට ලක්වීමේ ඉඩ ඇතැයි⁣⁣⁣ වෛද්‍යවරුන් අනාවරණය කරගෙන ගෙන තිබේ. ශල්‍යකර්මයක් මගින් එම තත්ත්වය සුවපත් කර ගත හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද, උරස් සහ උරස් ශල්‍ය වෛද්‍ය විශේෂඥ මලිත් ද සිල්වා පවසයි.

බොහෝ විට මෙහිදී හෘදය වස්තුවේ සිදුරක් ඇතිවන බවත් ළමා රෝග විශේෂඥයන් ඒ බව දැනුම් දුන් පසුව සැත්කම්වලට භාජනය කිරීමෙන් එම තත්ත්වය මගහරවාගත හැකි බවත් ඔහු පවසයි.

මේ සඳහා ශල්‍යකර්ම කිරීමට ඇති එකම රෝහල කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල බවද ඔහු කියයි. 

මීට හේතු වී ඇත්තේ ලේ ඥාතීන් අතරින් සිදුවන විවාහ සහ අඩු වයස් කණ්ඩායම් මවුවරුන්ගේ විවාහ සිදුවීම බවද ඊට අමතර වෙනත් කරුණු බලපාන බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

දැනට රෝහලෙහි ශල්‍යාගාර තුනක් මේ සඳහා වෙන්කර ඇති අතර නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු සැත්කම් සංඛ්‍යාව වැඩි කර ගැනීමට හැකි වන බවද ඔහු කීය.

වසරකට මෙවැනි සැත්කම් අටසීයක් පමණ සිදු කෙරේ. මුල් අවධියේදීම රෝගය  හඳුනා ගැනීමෙන් එය සුව කරගත හැකි බව වෛද්‍යවරු පවසති.