සුජිත් හේවාජුලිගේ

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව බාල සහ හානි වූ බෙහෙත් ගෙන්වූ සැපයුම්කරුවන්ගෙන් අය කර ගත යුතුව තිබූ රුපියල් කෝටි 299 ක  පිරිවැය සහ පරිපාලන ගාස්තු පසුගිය වසරේ (2025) මාර්තු 31 වනවිටත් අයකරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ.

අසාදු ලේඛනගත කළ සැපයුම්කරුවන්ගෙන් අය කර ගත යුතු රුපියල් කෝටි එකසිය හැටපහක මුදලක් ද 2025 මාර්තු 31 අවසන් සිහිකැඳවීම් යැවූ සැපයුම්කරුවන්ගෙන් අය කර ගත යුතු රුපියල් කෝටි 27ක මුදලක් ද එම හිඟ මුදලට ඇතුළත් වන බව වාර්තාවේ දැක්වේ.

පිරිවැය සහ පරිපාලන ගාස්තු අය කර ගැනීම සඳහා 2024 දෙසැම්බර් 31 ට නිකුත් කරනු ලැබ තිබූ හරපත් වටිනාකම රුපියල් කෝටි පන්සිය පනස් හතකි. එම මුදල් අය කර ගැනීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව ද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2024 අලු‍ත්ම විගණන වාර්තාවේ ය.