සුජිත් හේවාජුලිගේ

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදාවෙන් පේරාදෙණිය, නැගෙනහිර, ඌව වෙල්ලස්ස සහ කැලණිය යන විශ්වවිද්‍යාලවලට රුපියල් කෝටි 424කට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දත්ත වාර්තාවක සඳහන් වේ.

මින් වැඩිම බලපෑම සිදුව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයටය. එම පාඩුව රුපියල් කෝටි 399කි.

නැගෙනහිර විශ්වවිද්‍යාලයට රුපියල් දහසය කෝටි තිස් ලක්ෂයක මුදලක් ද ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට රුපියල් කෝටි හතක මුදලක් ද කැලණිය විශ්වවිද්‍යාලයට රුපියල් එක් කෝටි හැට ලක්ෂයක මුදලක් ද පාඩු සිදුව ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න පැවසීය.

කාලගුණ ආපදාවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය  පීඨයටත් කළමනාකරණ පීඨයටත් කෘෂි විද්‍යා පීඨයටත් වැඩ දෙපාර්තමේන්තුවටත් හානි සිදුව ඇතැයි පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ දේශන ශාලා, විද්‍යාගාර, නේවාසිකාගාර, නිල නිවාස, විදුලි පද්ධතිය, අභ්‍යන්තර මාර්ග, තාප්ප සහ ඇතුළුවීමේ දොරටුව යනාදියට හානි සිදුව ඇතැයි ද සඳහන් කළේය.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ භූමිය, ජලාපවහන පද්ධතිය, නේවාසිකාගාර, මළාපවහන පද්ධතිය ඇතුළු ස්ථාන ගණනාවකට අලාභ හානි සිදුව ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ හානියට පත්ව ඇත්තේ එහි පරිගණක සහ තාක්ෂණ පීඨයට සහ වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර සහ උද්‍යානයට මෙන්ම සමාජ විද්‍යා පීඨයේ වායු සමීකරණ යන්ත්‍රවලටය.

මේ අතර දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇතිවූ කාලගුණ ආපදාවෙන් දිවයින පුරා තෘතියික අධ්‍යාපන මධ්‍යස්ථාන 31කට ද පාඩු  සිදුව ඇතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.