(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සර් අයිවෝ  ජෙනිංග්ස්  මහතා හදපු එක ගොඩනැගිල්ලකටවත් කාලගුණ  ආපදාවෙන් හානි නොවූ බවත් එමගින් රටට ලොකු පාඩමක් කියා දෙන බවත්  අගමැතිනී  ආචාර්ය හරිනි  අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (19) පැවසුවාය

අඩු තරමින් ඒ ගොඩනැගිලි වලට එක වතුර අඟලක් හෝ පැමිණ නැතැයි කී අගමැතිවරිය  සුදුසු තැන්වල විද්‍යාත්මක ආකාරයට ගොඩනැගිලි තනන්නේ නම් කිසිදු ආපදාවක් ඇති නොවන බව එමඟින් පාඩමක්   දුන්නේ යැයිද  සඳහන් කළාය.

ඇය මෙසේ පැවසුවේ රුපියල් කෝටි පනස් දහසක පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදයේදීය

හරිනි  අමරසූරිය මෙනවිය මෙසේද කීවාය

මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ගියා. අපිට එතනිනුත් පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. සර් අයිවෝ  ජෙනින්ග්ස්  හදපු එක ගොඩනැගිල්ලකටවත් හානි වෙලා නෑ. අඩුම තරමින් වතුර අඟලක්වත් ගිහින් නැහැ. මොකක්ද ඒකෙන් අපිට කියලා දෙන පාඩම. විද්‍යාත්මකව සුදුසු තැන්වල ගොඩනැගිලි හදනවා නම්අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. තිබිය යුතු ප්‍රමිතිය ගැන හිතන්නෙනැතුව පරිසරය ගැන හිතන්නේ නැතුව ගත්තු තීන්දු තීරණ නිසා තමයි විනාශය. මේක හැම තැනටම පොදු තත්වයක්.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකරණ ගණනාවකට  හානි වෙලා. මෙම ආපදා අවස්ථාවේදී  විවිධ පුද්ගලයන් විශාල වශයෙන් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ කැපවීම අපි අගය කරන්න ඕන.