උපුල් වික්‍රමසිංහ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉංග්‍රීසි විෂය මොඩියුලය සඳහා ගුරුවරුන් පුහුණු කිරීමට පැවති පුහුණු වැඩසටහන්වලදී වත් අදාළ නුසුදුසු වෙබ් අඩවිය කිසිවකුගේ ඇස නොගැටීම ප්‍රශ්නකාරී බව තතුදත් ආරංචි මාර්ගයක් ඉරිදා ලංකාදීපයට හෙළි කළේ ය.

ඒ අනුව අදාළ ගුරු පුහුණු වැඩසටහන් සෑම පළාතකම පැවැත්වුණ ද ඉංග්‍රීසි මොඩියුලයෙහි සඳහන් එම වෙබ් අඩවි නාමය වගකිව යුතු කිසිවකුගේ අවධානයට හසු නොවීම මවිතය දනවන කරුණක් බව ද අදාළ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ ය.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු සහ හය වැනි ශ්‍රේණිවලට අදාළ මොඩියුල 2023 දී පමණ සකස් කර අවසන් වූ පසු ඒවායෙහි සෝදුපත් බැලීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයට ලක් වූ බවත් ඉන්පසු ගුරු පුහුණු වැඩසටහන්වලට යොමු කරන ලද බවත් ඒ අවස්ථා තුනෙන් එකකදීවත් ප්‍රශ්නගත වෙබ් අඩවිය ඇස නොගැටීම ගැටලුසහගත බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ය. 

අප මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතාගෙන් කළ විමසීමක දී හෙතෙම සඳහන් කළේ මෙම මොඩියුලය සකස් කළ පසු ගුරුවරුන් පුහුණු කිරීමට සෑම පළාතකම එය භාවිතයට ගත් බවත් මතභේදාත්මක වෙබ් සබැඳිය මොඩියුලයෙහි සඳහන් කර ඇත්තේ ලේබලයක් ලෙස මිසක් වෙබ් සබැඳියක් (Web Link) ලෙස නොවන බවත් එබැවින් එය අවධානයට ලක්වීමට වැඩි ඉඩක් නැති බවත්ය.