ප්‍රේමකීර්ති රණතුංග 

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් වූ ස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතුවල වේගය මෑත කාලයේ මන්දගාමී වී ඇතැයි ජනාධිපති කාර්ය සාධක බළකායේ දී හෙළිදරව් වී ඇත. රට යළි ගොඩනැගීම සඳහා පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බළකාය අගමැතිනි හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ රැස් වූ අතර මෙම තොරතුරු හෙළිදරව් වූයේ එම අවස්ථාවේදීය.

මේ පිළිබඳව රාජ්‍ය නිලධාරීන් පවසා ඇත්තේ නිලධාරීන්ගේ හිඟය සහ යන්ත්‍රෝපකරණවල හිඟය හේතුවෙන් ප්‍රතිසංස්කරණ වේගය අඩුවී ඇති බවය.

රටේ සාමාන්‍ය සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්නා රාජ්‍ය යාන්ත්‍රණයම මේ සඳහා ද භාවිත කිරීමට සිදුවී ඇති බවත් එකම කොට්ඨාසයේ මාර්ග ඇතුළු ඉදිකිරීම් ගණනාවක් සිදු කිරීමට නිලධාරින්ට සිදුව ඇති නිසා යම් ප්‍රමාදයක් සිදුවන බවත් මහාමාර්ග ඇමති බිමල් රත්නායක මෙහි දී සඳහන් කළේය. සුළි කුණාටුවෙන් පසු රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත් වී ඇතත් තවමත් නිවාස අහිමි විශාල පිරිසක් සුරක්ෂා මධ්‍යස්ථානවල දිවි ගෙවන බව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇත.

තමන්ගේම නිවසක් ලබාදෙන කටයුතු ප්‍රමාද වී ඇත්තේ නැවත පදිංචි කිරීමට තෝරාගෙන ඇති ඇතැම් ස්ථාන පිළිබඳ තාක්ෂණික සහ භූ විද්‍යා නිලධාරින්ගේ වාර්තා ලැබී නොතිබීම හේතුවෙන් බවද හෙළි දරව් විය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරී හිඟය හේතුවෙන් නැවත පදිංචි කිරීමට තෝරා ගෙන ඇති බොහෝ ස්ථාන යළිත් නායයාමකට ලක්වේ දැයි තවමත් නිසි පරික්ෂාවට ලක් වී නැති බවද මෙහිදී අනාවරණය විය.