සුජිත් හේවාජුලිගේ

පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව ජනාධිපති අරමුදලේ රුපියල් කෝටි 9,445ක මුදලක් ස්ථාවර හා කාලීන තැන්පතු වශයෙන් හිතුමතේ ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ.

ජනාධිපතිවරයා විසින් දෙනු ලබන විධිවිධානවලට අනුව පමණක්  යම් මුදලක් ආයෝජනය කළ හැකි වුව ද 2024 වර්ෂයේ ජුනි 31 සිට දෙසැම්බර් 31 දක්වා කාලයේදී පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව මෙසේ මුදල් ආයෝජනය කර තිබූ බව එහි දැක්වේ.

මේ අතර ජනාධිපතිවරයාගේ සහ පාලක මණ්ඩලයේ මතය අනුව මහජනතාවගේ සුබසිද්ධිය සඳහා විවිධ කාර්යයන් ඉටු කිරීමට රුපියල් කෝටි පහක් ඇස්තමේන්තු කර තිබුණ ද භාවිත කර ඇත්තේ රුපියල් කෝටි තුනක පමණ මුදලක් බවත් එය වෙන් කරන ලද ප්‍රතිපාදනයෙන් සියයට හැට හතරක් බවත් වාර්තාව සඳහන් කරයි.

ජනාධිපති අරමුදලේ කාර්යමණ්ඩලය සඳහා වැටුප් සහ අනෙකුත් මෙහෙයුම් වියදම්වලට අරමුදලේ ප්‍රතිපාදනවලින් ගෙවීමට කටයුතු සලසා තිබුණ ද ඒ සඳහා ජනාධිපති කාර්යාලය වියදම් දරා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එසේම ජනාධිපති අරමුදල සහ එහි කටයුතු විධිමත් අනුමත රීති මාලාවක් නොමැතිව ක්‍රියාත්මක වන බව ද විගණන නිලධාරින් නිරීක්ෂණය කර ඇත. මේ අතර ජීවිත කාලය පුරා රෝගී තත්ත්වයෙන් පසුවන බවට හඳුනාගෙන සිටි එකොළොස් දෙනකු වෙනුවෙන් අරමුදල බැංකු තුනක රුපියල් ලක්ෂ තිස්පහක මුදලක් ආයෝජනය කර එහි ප්‍රතිලාභ මාසිකව එම රෝගීන්ට ලැබීමට සලස්වා තිබූ නමුත් පසුකාලීනව එම රෝගීන් ජීවත් වන බව හෝ ඔවුනට ප්‍රතිලාභ අඛණ්ඩව ලැබෙන බවට තහවුරු කරගෙන නොතිබූ බව වාර්තාව සඳහන් කරයි.

ජනාධිපතිවරයා 2024 වසරේදී අනුමත කර තිබූ නමුත් ගෙවීම් කර නොමැති ආධාර පිළිබඳව තොරතුරු විගණනයට ඉදිරිපත් නොකෙරුණු බව එහි දැක්වේ. මෙම තොරතුරු සඳහන් වෙන්නේ ජාතික විගණන කාර්යාලයේ 2024 වාර්ෂික වාර්තාවේය.