‘ඔමික්‍රෝන්’ ආවේ කොරෝනා නිම කරන්නද?


විශේෂඥයන් අතර මතයක්   

 

නොවැම්බර් 19 වැනිදා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර, ‘ලැන්සෙට්’ වයිරස පර්‌යේෂණ ආයතනයේ ප්‍රධානී, රුකෙල් වියානා පුදුමයට පත්ව සිටියාය. ඒ, ඇයගේ පරීක්ෂාවට ලක්වුණු ‘කොවිඩ් 19’ වයිරස සාම්පල කීපයක ජාන විශ්ලේෂණ වාර්තා දෙස බලමිනි. ලොව ප්‍රමුඛ පෙළේ වයිරස විශේෂඥයන් සහ වයිරස පර්‌යේෂණ ආයතන රැසක් පිහිටා ඇත්තේ දකුණු අප්‍රිකාවේය. ලැන්සෙට් එවැනි එක් පෞද්ගලික පර්‌යේෂණ ආයතනයකි. ‘කොවිඩ් 19’ වයිරස සාම්පල අටක ජාන විශ්ලේෂණ වාර්තා වියානා ට ලැබී තිබුණි. ඇය යළි යළිත් ඒවා අධ්‍යයනය කරන්නට වූවාය. එම වාර්තාවලින් පෙනී ගියේ විකෘති වයිරස රැසක මුසුවකි. වියානා ට විශාල ප්‍රමාණයේ විකෘති වයිරස එකතුවක් දකින්නට ලැබුණු පළමු අවස්ථාව මෙය විය. ‘කොවිඩ් 19’ වයිරස සාම්පල විශ්ලේෂණයේ දී මීට පෙර මෙවැන්නක් දකින්න ලැබී තිබුණේ ද නැත. “එදා මා පුදුමයට පත් වුණා. ජාන විශ්ලේෂණයේදී මොකක් හෝ වැරදීමක් සිදුවෙන්න ඇතැයි කියලයි මුලින්ම මට හිතුණේ. ඒත් සාම්පල 8 ක් වරදින්නේ කොහොමද? ඒ ප්‍රතිඵල මා නොසන්සුන් කළා. මා බියට පත් කළා” යැයි වියානා, රොයිටර් පුවත් සේවය සමඟ ඇගේ අත්දැකීම විස්තර කර තිබේ.   

 


‘කොවිඩ් 19’ වයිරස විශ්ලේෂණයේ දී දකුණු අප්‍රිකා බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය සමඟ ලැන්සෙට් වැනි වයිරස පර්‌යේෂණ ආයතන එක් වී කටයුතු කරයි. වියානා, ඇය අතට පත් වුණු ජාන විශ්ලේෂණ වාර්තා ජොහැන්නස්බර්ග් නුවර පිහිටි දකුණු අප්‍රිකා බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ ඇගේ හිතවත් වෛද්‍ය පර්‌යේෂකයකු මෙන්ම ජාන විශ්ලේෂකයකු ද වන ඩැනියෙල් අමාකෝට යැවීය. “මම අමාකෝට කීවා. මොකක් හරි වැරදිමක් මේ සාම්පලවල තිබෙනවා, ඒ ගැන පුළුල් අධ්‍යයනයක් කරන්න” යැයි වියානා පැහැදිලි කරයි. පැය කීපයක් ගත වෙද්දී වියානාගේ බිය තහවුරු විය. වැරදීමක් සිදුවී තිබුණේ නැත. ජාන විශ්ලේෂණයෙන් හමුවී තිබුණේ විකෘති වයිරස පොකුරකින් නිර්මාණය වූ එක් බිහිසුණු විකෘති වයිරස ප්‍රභේදයකි. 23 වැනිදා වනවිට ප්‍රිටෝරියා නුවර ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගෙන් ලබා ගත් ජාන විශ්ලේෂණ වාර්තාවලින් ද තහවුරු වූයේ එම විකෘතිය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන බවය. ඒ අනුව, දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයෝ එම විකෘතිය B.1.1.529 යනුවෙන් නම් කළහ. නොවැම්බර් 24 වැනිදා ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ විශේෂඥයෝ හදිසි හමුවක් පැවැත්වූහ. ඒ, දකුණු අප්‍රිකානු වයිරස විශේෂඥයන් ලබා දුන් B.1.1.529 නව විකෘතිය සම්බන්ධයෙනි. B.1.1.529 එසේ මෙසේ විකෘතියක් නොවන බව පෙනී යෑමත් සමඟ ඒ ගැන අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි. 27 වැනිදා වනවිට B.1.1.529 නව විකෘතිය ග්‍රීක අක්ෂරයකින් නම් කෙරුණි. ඒ, ඔමික්‍රෝන් යනුවෙනි.   


‘ඔමික්‍රෝන්’ මේ වනවිට ලොව කැලැඹීමට සමත් වී ඇත. ‘ඔමික්‍රෝන්’ යනු ‘කොවිඩ් 19’ වයිරස පවුලේ අලු‍තින්ම විකෘති සාමාජිකයාය. ‘ඔමික්‍රෝන්‘ දකුණු අප්‍රිකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබුවත්, එහි ආරම්භය බොට්ස්වානා රාජ්‍යය යැයි පැවැසෙයි. මෙය මේ වනවිට අර්බුදයට ලක් වී ඇත. හේතුව, නෙදර්ලන්ත සෞඛ්‍ය බලධාරීන් පසුගිය 30 වැනිදා කියා සිටියේ, නොවැම්බර් 19 වැනිදාට පෙර, එරට වැසියන්ගෙන් ලබා ගත් ‘කොවිඩ් 19’ සාම්පල යොදා ගනිමින් ජාන විශ්ලේෂණය කරද්දී ‘ඔමික්‍රෝන්‘ හමුවුණු බවය. ‘ඔමික්‍රෝන්’ විකෘතිය ‘ඩෙල්ටා’ විකෘතියට වඩා සිය ගුණයකින් බිහිසුණු සහ වේගවත්ව පැතිරෙන බව ජාන විශ්ලේෂණයේ දී තහවුරු වී ඇත. ‘ඇල්ෆා’, ‘බේටා’, ‘ගැමා’ සහ ‘ඩෙල්ටා’ ආදී ‘කොවිඩ් 19’ විකෘති සියල්ලේම ඇති ගති ලක්ෂණ සහ විද්‍යාඥයන්ට මෙතෙක් හමුවී නැති ගති ලක්ෂණ ද ‘ඔමික්‍රෝන්’ සතුය. වයිරසයේ ස්පයික් ප්‍රෝටීනයේ (ඔටුන්න වැනි කොටස) පමණක් ඇති විකෘති ගණන 32 කට වැඩිය. ඊට අමතරව සමස්ත වයිරසයේ ඇති විකෘති ප්‍රභේද ගණන 50 කට වැඩිය.   


‘ඔමික්‍රෝන්’ ප්‍රභේදය ඉක්මනින් හඳුනාගැනීමත් එය ලොවට අනාවරණය කිරීමත් සමඟ දකුණු අප්‍රිකාව අමාරුවේ වැටුණි. වයිරසය සොයා ගත් බැවින් ලෝකයා තමන්ට දඬුවම් කරනවා යැයි දකුණු අප්‍රිකාව මැසිවිලි නගන්න විය. ඊට හේතුව වූයේ රටවල් බොහෝමයක් දකුණු අප්‍රිකාව ඇතුළු ඒ අවට අප්‍රිකා රටවලට සංචාරක තහනම් සහ සීමා පැනවීමය. ඒ අනුව සෙසු රටවල් මෙන්ම දකුණු අප්‍රිකාව ද හුදෙකලා විය. මෙය දකුණු අප්‍රිකාවේ සංචාරක කර්මාන්තයට සහ ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කළේය. ‘ඔමික්‍රෝන්’ විකෘතිය සම්බන්ධයෙන්, මේ මොහොතේ බියවීමට හෝ කලබලවීමට හෝ හේතුවක් නොමැති බවත්, වයිරස විකෘතිය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට සති දෙක තුනක් ගතවනු ඇති බවත් එම විකෘතිය පළමුවෙන්ම හඳුනාගත් දකුණු අප්‍රිකා වෛද්‍යවරියක වන ඇන්ජෙලික් කෝටේස් ලොවට පැහැදිලි කර තිබේ. තමන් ප්‍රතිකාර ලබා දුන්, ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් කිසිවකු බරපතළ ලෙස රෝගී නොවුණු බවත් මරණයට පත් නොවුණු බවත් වෛද්‍යවරිය ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ. සාමාන්‍යයෙන් ‘කොවිඩ් 19’ ආසාදිතයන්ට ගඳ සුවඳ නොදැනී යන නමුත් ‘ඔමික්‍රෝන්‘ ආසාදිතයන්ට එවැන්නක් සිදු නොවන බව වෛද්‍යවරිය පෙන්වා දී තිබේ. උණ සහ සෙම්ප්‍රතිශ්‍යාවට අමතරව, ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන්ගේ බහුල රෝග ලක්ෂණ වන්නේ දින ගණනාවක් එක දිගට පවතින සිරුරේ වේදනාව, අධික තෙහෙට්ටුව සහ හෘද ස්පන්දනය වේගවත් වීමය. මුලින් හමුවුණු සියලු‍ ‘ඔමික්‍රෝන්’ රෝගීන් සුවය ලැබුවේ වෛද්‍ය උපදෙස් මත නිවෙස්වල රැඳී සිටිමින් යැයි ද වෛද්‍යවරිය පැහැදිලි කර තිබේ. ‘ඔමික්‍රෝන්’ සම්බන්ධයෙන් මේ මොහොතේ අනවශ්‍ය බියක් ඇති කර ගනිමින් කලබල වීම අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා උපදෙස් දී ඇත.   


‘ඔමික්‍රෝන්’ විකෘතියට ඇතුළත් විකෘති දෙකක් වන්නේ P681H සහ N679K ය. මෙම විකෘති දෙක එකට හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන විකෘති ලෙස P681H සහ N679K මීට පෙර සිටම හඳුනා ගෙන තිබුණි. H655Y නමැති විකෘතිය ද ‘ඔමික්‍රෝන්‘ විකෘතියට ඇතුළත්ය. වයිරසයට ඉතා පහසුවෙන් අපේ සිරුරේ සෛලවලට රිංගා ගැනීමට H655Y උපකාරී වෙයි. N501Y නමැති විකෘතිය ද ‘ඔමික්‍රෝන්‘ තුළ ඇත. විද්‍යාඥයන්ට N501Y විකෘතිය මුලින්ම හමුවී ඇත්තේ ‘ඇල්ෆා’ සහ ‘බේටා’ විකෘතිවලිනි. (ඇල්ෆා යනු එංගලන්තයේ කෙන්ට් පළාතෙන් මුලින්ම හමුවුණු ‘කොවිඩ් 19’ විකෘතිය වන අතර ‘බේටා’ යනු මුලින්ම දකුණු අප්‍රිකාවෙන් හමුවුණු විකෘතියයි.) N501Y විකෘතියෙන් සිදුවන්නේ වයිරසය ව්‍යාප්ත වීම වේගවත් කිරීම යැයි පැවැසෙයි. R203K සහ G204Rයනුවෙන් හැඳින්වෙන වයිරස විකෘති ද ‘ඔමික්‍රෝන්‘ විකෘතිය තුළ අඩංගු වෙයි. ‘ඔමික්‍රෝන්‘ විකෘතිය ආසාදනය වන ප්‍රමාණය වැඩි කරන්නේ මෙම විකෘති දෙකය. ‘ඩෙල්ටා’ විකෘතියට පමණක් ආවේණික N440K නමැති විකෘතියත්, ‘බේටා‘ විකෘතියට පමණක් ආවේණික K417N සහ E484A යන විකෘති දෙකත්, ඇමෙරිකාවේ නිව්‌​ෙයා්ක් නුවරින් පළමුවෙන් සොයා ගත් ‘නිව්‌යෝක්’ නමැති විකෘතියට ආවේණික S477N විකෘතියත් ‘ඔමික්‍රෝන්’ තුළින් හමුවී ඇත. කෙසේ නමුත් සෙසු වයිරස විකෘතිවල ඇති, ව්‍යාප්තිය වේගවත් කරන විකෘතියක් ලෙස සැලකෙන NSP6 නමැති විකෘතිය ‘ඔමික්‍රෝන්’ විකෘතියේ නොමැති බව පැවැසෙයි. G446S, T478K, Q493K, G496S, Q498R සහ Y505H යනු මේ වනවිට ‘ඔමික්‍රෝන්’ විකෘතියෙන් පමණක් සොයා ගත් විකෘති වයිරස වන අතර, මේවායෙන් සිදුවන්නේ කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. ‘ඔමික්‍රෝන්’ බිහිසුණු වයිරසයක් යැයි අනුමාන කෙරෙන්නේ මේ නිසාය. රටවල් බොහොමයක් මේ වනවිට දේශසීමා වසා දැමීමට පියවර ගෙන ඇත්තේ ද මේ නිසාය.   
මේ අතර, ‘ඔමික්‍රෝන්‘ හේතුවෙන් මුළු ලොවම භීතියට පත්වෙද්දී, ජර්මනියේ වසංගත රෝග විශේෂඥයකු වන මහාචාර්ය කාර්ල් ලු‍ටර්බාෂ් අපූරු අදහසක් ඉදිරිපත් කර තිබේ. මහාචාර්යවරයා පෙන්වා දී ඇත්තේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය බිහිවූයේ ‘කොවිඩ් 19’ වසංගතය අවසන් කිරීමට බවය. මහාචාර්ය කාර්ල් ලු‍ටර්බාෂ් මෙසේ සිය අදහස ලොවට පවසද්දී, බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ ද වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් එම අදහසට සහාය දක්වමින් පවසා ඇත්තේ වෛද්‍ය විද්‍යාත්මකව ලු‍ටර්බාෂ්ගේ අදහස පිළිගත හැකි බවය. කෙසේ නමුත් තවමත් ඔමික්‍රෝන් වයිරසයේ සැබෑ ස්වරූපය නොදන්නා බැවින්, මහාචාර්ය ලු‍ටර්බාෂ්ගේ අදහස පිළිගැනීමට හෝ බැහැර කිරීමට හෝ නොහැකි බව ද ඔවුහු පෙන්වා දෙති. මහාචාර්ය කාර්ල් ලු‍ටර්බාෂ් පවසන්නේ මෙවැන්නකි. “වයිරසයකට ඇත්තේ එක අරමුණයි. ඒ, නොනැසී පවතිමින්, පිටපත් වැඩි වැඩියෙන් නිර්මාණයයි. එසේ කිරීමට නම් එය වැඩි දෙනෙකු අතරේ පැතිරෙන්න ඕනෑ. වයිරසය ආසාදනය වූ තැනැත්තා වයිරසයෙන් මියගියොත් හෝ ප්‍රතිශක්තියෙන් වයිරසය අඩපණ කෙරුණොත් වයිරසයට සිය අරමුණ ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ. වයිරස දරු පරම්පරා විකෘතිකරණයට ලක් වෙන්නේ එසේත් නැතිනම් එය මාතෘ වයිරසයෙන් වෙනස්වීම්වලට ලක් වන්නේ ඒ නිසයි. ඔමික්‍රෝන් ගැන තවම හරිහැටි විස්තර දන්නේ නැහැ. ඒත් දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන්ට අනුව, බෝවීම ඉතාමත් වැඩි වුණත්, ඔමික්‍රෝන් බරපතළ රෝගී තත්ත්ව පෙන්නුම් කර නැහැ. කොවිඩ් 19 මාතෘ වයිරසය ඔමික්‍රෝන් ලෙස වෙනස් වුණේ වයිරසයේ පැවැත්ම රඳවා ගෙන, එය ආසාදනය වෙන මනුෂ්‍ය අපේත් ජීවිත රැක ගැනීමට වෙන්න පුළුවන්. කොවිඩ් 19 වසංගතයේ පවා අවසානයක් තිබිය යුතුයි. අවසානය වෙන්න නම් එක්කෝ වයිරසය ලොවෙන් තුරන් විය යුතුයි. නැතිනම් එය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් දක්වා ප්‍රබලත්වය අඩු විය යුතුයි. මා හිතන්නේ ඔමික්‍රෝන් කියන්නේ එසේ වෙනස් වුණු විකෘතියයි. කොරෝනා වසංගතයේ අවසානය මෙය විය හැකියි.”   
වයිරස විකෘති සහ ග්‍රීක හෝඩිය   


ග්‍රීක හෝඩියේ අකුරු 24 කි. ‘කොවිඩ් 19’ වයිරස විකෘති ගැන අපට අසන්න ලැබෙන්නේ මේ අකුරුවලිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය ග්‍රීක අකුරු මේ අයුරින්, ‘කොවිඩ් 19’ වයිරස විකෘති නම් කිරීමට භාවිත කරන්නේ, එම විකෘති පළමුවෙන් හමුවුණු රටින්, ඒවා නම් කිරීම එම රටට අපකීර්තියක් ගෙනෙන නිසාය. ඇල්ෆා, බේටා, ගැමා, ඩෙල්ටා, එප්සිලෝන්, සේටා, ඒටා, තේටා, අයෝටා, කැපා, ලැම්බ්ඩා, මියු, නියු, සී, ඔමික්‍රෝන්, පායි, රෝහ්, සිග්මා, ටාඌ, යූප්සලෝන්, ෆායි, චී, සයි සහ ඔමේගා යනු ග්‍රීක හෝඩියයි.   


දකුණු අප්‍රිකා විද්‍යාඥයන් ඔවුන්ට හමුවුණු බිහිසුණු විකෘතිය මුලින්ම හැඳින්වූයේ B.1.1.529 යනුවෙනි. ලෝක සෞඛ්‍ය සංවිධානය එහි බිහිසුණු බව අවබෝධ කර ගනිමින්, විකෘතිය ඔමික්‍රෝන් ලෙස නම් කළේය. ඒ, පසුගිය නොවැම්බර් 27 වැනිදාය. මේ වනතුරු ග්‍රීක හෝඩියේ අක්ෂර පිළිවෙළින් වයිරස විකෘති නම් කිරීම සිදුවිය. අවසන් වරට විකෘතියක් නම් කෙරුණේ ‘මියු’ යන අකුරිනි.   


හෝඩියේ පිළිවෙළ අනුව, ඉන්පසුව ඇති අකුරු වන්නේ ‘නියු’ (Nu) සහ ‘සී’ (Xi) ය. එහෙත්, ලෝක සෞඛ්‍ය සංවිධානය, B.1.1.529 නම් කළේ මෙම අක්ෂර භාවිතයට නොගෙන ‘ඔමික්‍රොන්’ අක්ෂරයෙනි. මෙය බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. ලෝක සෞඛ්‍ය සංවිධානය ‘නියු’ සහ ‘සී’ (Xi) යන අක්ෂර මඟ හැරියේ ඇයි? ඒ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කිරීමක් කර තිබේ.   


‘නියු’ යන්නෙන් ‘නව’ යන අර්ථය නිරූපණය වෙයි. ‘කොවිඩ් 19’ වයිරසය ‘නව කොරෝනා වයිරසය’ යනුවෙන් ද හැඳින්වෙයි. ඒ නිසා ඔවුන් ‘නියු’ යන්න භාවිතයට නොගැනීමට ආරම්භයේ පටන් තීරණය කර ඇත. ‘සී‘ (Xi) යන අකුර යෙදුවොත්, එය චීන ජනාධිපති සී ජින්පින් සිහි ගැන්වීමකි. ‘සී’ යන්න භාවිතයට නොගෙන ඇත්තේ ඒ නිසාය. බටහිර වැසියෝ චීන ජනාධිපතිගේ නම ෂී ජින්පින් යනුවෙන් ද උච්චාරණය කරති.   
‘ඩේලිමේල්’ ඇසුරිනි

 

 

ලු‍සිත ජයමාන්න