​ගෙවුණු සතියේ හඳට ගිය බඩු මිල


  • කවුරුන් මේ මිල වැඩි කිරීම සිදුකරනවා ද යන්න ජනතාවට ප්‍රහේලිකාවකි. පාලන මිලකින් තොරව භාණ්ඩ මිල ඉහළ යමින් පවතී. ඉහළ යන බඩු මිල නැවත පහළ බැසීමක් ද නැත.
  • මිල වැඩි නොවූ භාණ්ඩයක් නොමැත. සියලු භාණ්ඩ මිල ඉහළ ගොස් ඇත. මේ මිල ඉහළ යාම දරා ගැනීමට නොහැකි ජනතාව නොසන්සුන් වන අවස්ථා දක්නට ලැබෙයි.   

අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිල ගිය සතියේ දී තවත් ඉහළ ගියේය. මෙලෙස මිල ඉහළ යාමට තීන්දු තීරණ ගනු ලබන්නේ කවුරුන් ද යන්න කිසිවෙකු දන්නේ නැත. පාරිභෝගික සේවා අධිකාරියක් තිබෙනවා ද යන්නත් ගැටලුවක් වී ඇත.   


රටේ දුප්පත් ජනතාවට බලපාන ද්‍රව්‍ය රාශියක මිල පාලනයකින් තොරව ඉහළ ගොසිනි. හොඳම උද‌ාහරණය ප්ලෙන් ටී එකක් රුපියල් 30 සිට 60 දක්වා ඉහළ යාමය. සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කරන්නේ තම සංගම මගින් ප්ලෙන්ටියක මිල ඉහළ දමා නැති බවයි.   
කෙසේ වෙතත් සියලු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දමා ඇත. කිරි තේ එකක් රුපියල් 70 සිට 100 දක්වා ඉහළ ගොස් ඇත.   


කිරිපිටි, තේ කොළ, සීනි, ගෑස් මිල ඉහළ යාම නිසා ප්ලෙන්ටිය හා කිරි තේ කෝප්පයක මිල ඉහළ දැමීමට සිදු වූ බව ආපනශාලා හිමියෝ ප්‍රකාශ කරති. කිරි පිටි කිලෝවක මිල රුපියල් 600 කින් ඉහළ දමා ඇත. ඒ අනුව රුපියල් 1345 කට අලෙවි වූ කිරිපිටි කිලෝවක මිල රුපියල් 1945 දක්වා ඉහළ ගොස් ඇත. ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250 කින් ඉහළ දමා ඇත. ඒ අනුව රුපියල් 540 කට අලෙවි කළ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 790 දක්වා ඉහළ දමා ඇත. ග්‍රෑම් 400 පැල්වත්ත කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520 සිට 625 දක්වා ඉහළ දමා ඇත.   


ගෑස් මිල ද සංශෝධනය වෙමින් පවතී. ලාෆ් ගෑස් ගිය සතියේ දී මිල ඉහළ දමා ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 4199 ක් දක්වා ද කිලෝ ග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1680 ක් දක්වා ද කිලෝ ග්‍රෑම් 2.5 ක සිලින්ඩරයක මිල රුපියල් 672 ක් දක්වා ද ඉහළ දමා ඇත.   


 ලිට්‍රෝ ගෑස් මිල මේ ප්‍රමාණයට ඉහළ දමා නැතත් රටේ ජනතාවට ගෑස්වල ගෑස් බැලීමට සිදුවී ඇත. ඒ වෙළඳපොළේ ගෑස් හිඟවී ඇති නිසාය. රටේ ජනතාව ගෑස් ලබා ගැනීමට අදටත් පෝලිම්වල බලා සිටිති. මීට අමතරව රතු සීනි කිලෝවක් රුපියල් 194 සිට 210 දක්වා ඉහළ ගොස් ඇත. සුදු සීනි කිලෝවක මිල රුපියල් 160 සිට 200 දක්වාය. මේ රටේ වැවෙන තේ කිලෝවක මිලත් රුපියල් 1200 සිට 1300 ත් 1800 ත් අතර ඉහළ ගොස් ඇත.   


 තේ කෝප්පයක් පිළියෙල කර ගැනීම සඳහා අවශ්‍ය වන අතුරු ද්‍රව්‍ය මිල ඉහළ යද්දී තේ කෝප්පයද ඒ අනුව මිල ඉහළ ගොසිනි. විශේෂයෙන් ගෑස් නාගරික ජනතාවගේ ජීවිතයට බෙහෙවින් බලපෑම් කරන අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වී ඇත. සීමිත ඉඩ ප්‍රමාණයක ජීවත්වන ජනතාවට ආහාර පිළියෙල කර ගැනීම සඳහා පහසු, සරල ක්‍රමවේදය ගෑස් ලිපයි. භූමිතෙල් ලිපක් පාවිච්චි කළත් භූමිතෙල් ලබා ගැනීම තවත් දුෂ්කර කරුණක් වී ඇත. දර ලිපක් යොද‌ා ගැනීමට තට්ටු නිවාසයක වෙසෙන ජනතාවට හැකියාවක් නැත.   


මේ වන විට දරත් කරදරයක් වී ඇත. සාමාන්‍යයෙන් කැබලි 5 ක දර මිටියක් රුපියල් 40 සිට 120 දක්වා ඉහළ ගොස් ඇත. සුපිරි වෙ​ෙළඳසල්වලත් දර මිටි විකිණීමටම තබා තිබෙන අවස්ථා දක්නට ලැබෙයි. බොහෝ විට ගෑස් ප්‍රශ්නය නිසා මහල් නිවාසවාසීන්ට ආහාර ලෙසට පාන් හෝ ආපනශාලාවකින් ආහාර මිල දී ගැනීමට සිදු වී ඇත.   


 බොහෝමයක් ආපනශාලා මේ වන විට වසා දමා ඇත. හේතුව ගෑස් නොමැති කමින් ආහාර පහසුවෙන් සකසා ගැනීමට නොහැකි වීමයි. මේ වන විට මිරිස් කුඩු කිලෝවක් රුපියල් 600 සිට 1400 දක්වා ද, තුනපහ කුඩු කිලෝවක් රුපියල් 650 සිට 1400 දක්වා ද. බිත්තරයක් රුපියල් 13 සිට 34 දක්වා ද, බල මාළු කිලෝවක් රුපියල් 400 සිට 850 දක්වා ද, පොල්තෙල් රුපියල් 530 සිට 960 දක්වා ද, කෑම පාර්සල් එතිමට ගන්නා සුදු පත්තර කොළ කිලෝව රුපියල් 120 සිට 350 දක්වා ද, වතුර බොන ප්ලාස්ටික් කෝප්පයක මිල රුපියල් 1.60 සිට රුපියල් 3.50 සිට 5.50 දක්වා ද මිල ඉහළ ගොස් ඇත.   


 විශේෂයෙන් හෝටල්වල හා ආපනශාලාවට පාවිච්චි කරනු ලබන්නේ ලාෆ් ගෑස්ය. කිලෝ 37.5 ක ගෑස් සිලින්ඩරය රුපියල් 9500 සිට රුපියල් 13200 දක්වා ගිය සතියේ සිට වැඩි වී ඇත.   


 කවුරුන් මේ මිල වැඩි කිරීම සිදුකරනවා ද යන්න ජනතාවට ප්‍රහේලිකාවකි. පාලන මිලකින් තොරව මේ භාණ්ඩ මිල ඉහළ යමින් පවතී. ඉහළ යන බඩු මිල නැවත පහළ බැසීමක් ද නැත.   


 මේ වන විට යෝගට් එකක මිල රුපියල් 20 කින් හා යෝගට් පානය (මිලි ලීටර් 180) බෝතලය රුපියල් 30 කින් ඉහළ දමා ඇත. ඒ අනුව යෝගට් එකක මිල රුපියල් 50 සිට 70 දක්වා ඉහළ ගොස් ඇත.   
ආහාර භාණ්ඩ මිල ඉහළ යාම දැඩිව බලපා ඇති තවත් පිරිසක් වන්නේ වතු කම්කරු ජනතාවය. වැඩි වශයෙන් මේ ජනතාව ආහාරයට ගන්නේ පාන් පිටිය. වතුකරයේ වෙළඳසැල්වල පාන්පිටි කිලෝවක් රුපියල් 165 ත් 170 ත් අතර වන බව පහත රට වතු කම්කරු සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා කීය. දිනකට රුපියල් 960 ක දීමනාවක් ලබන වතු කම්කරු ජනතාව දැන් සේවයේ යෙදෙන්නේ සතියකට දින 2 ක් හෝ 3 ක් පමණී. පොහොර ප්‍රශ්නයත් සමඟ වතු සමාගම් මගින් දිනපතා තේ දළු කැඩීම සඳහා වතු කම්කරුවන් යෙදවීම සිදුනොවේ.   


 රොටියක් කා සීනි ස්වල්පයක් අල්ලට ගෙන තේ කහට බොන වතුකරයේ ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති. සීනි ග්‍රෑම් 100 ක් රුපියල් 18.00 සිට 25.00 දක්වා මිල ඉහළ නැග ඇත.   
 විදුලිය විසන්ධි කිරීම නිසා ඉටිපන්දමක් හෝ කුප්පි ලාම්පුවක් දල්වා ගැනීමට සිදුවී ඇත. ඒ සඳහා භූමිතෙල් ලබා ගැනීම ද වතුකරයේ ජනතාවට දුෂ්කර වී ඇතැයි රුවන් ගාල්ලගේ මහතා කීය.   
 රුපියල අවප්‍රමාණය වීමත් සමග ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් තිරිඟු පිටි මිල ඉහළ දමා ඇත. ඒ අනුව ප්‍රීමා සමාගම පිටි කිලෝවක් රුපියල් 35 ත් 40 ත් අතර ප්‍රමාණයකින් ද සෙරන්ඩිබ් සමාගම රුපියල් 35 කින් ද පිටි කිලෝව මිල ඉහළ දමා ඇත. ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 70 ත් 90 ත් අතර ප්‍රමාණයේ සිට රුපියල් 110 ත් 130 ත් අතර ප්‍රමාණයකට ඉහළ දමා තිබේ.   


බත් පැකට්ටුවක මිල රුපියල් 180 ත් 200 ත් අතරය. එළවළු මිශ්‍ර බත් පැකට්ටුවක් රුපියල් 280 කි. සියලු කෙටි ආහාර මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇත.   
 පවත්වා ගෙන යාමට නොහැකි වීම නිසා බොහෝමයක් ආපනශාලා වසා දමා ඇත.   
මීට අමතරව මේ වන විට වේදනා නාශක පෙත්ත පවා රුපියල් 1.25 සට රුපියල් 3 දක්වා ඉහළ නැග ඇත. ඇඟපතේ මහන්සියට හිසරදයට එම පෙත්තක් පාවිච්චි කළ අයට දැන් ඒ සඳහා රුපියල් 3 ක් වැය කිරීමට සිදුවී ඇත. පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට රුපියල් 3 ත් බරපතළය.   
මීට අමතරව ඖෂධ මිල සියයට 29 කින් ඉහළ දැමීමට මිල පාලන කමිටුව තීරණය කර ඇත. ඇතැම් ඖෂධ මිල සියයට 50 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ දමා ඇතැයි​ වෛද්‍ය සංගම් සඳහන් කරයි. ඒ අතර රෝහල්වල බරපතළ ලෙසින් ඖෂධ හිඟයක් පවතින බව ද එම සංගම් සඳහන් කරයි.   


ගිය සතිය ඇතුළත රෙදිපිළි මිලද සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත. විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්දට තවත් සති දෙකක පමණ කාලයක් ඇත. මේ වන විට රුපියල් 1300 කට තිබූ බ්ලවුසයක් රුපියල් 2000 දක්වා ඉහළ නැග ඇති බව සඳහන් වේ. සියලු ඇඳුම්වල මිල සියයට 50 කට වඩා වැඩි මිලකින් ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ නන්දකුමාර මහතා පැවසීය.   
 රෙදි ඉතා ලාභයට තිබෙන බවට ප්‍රචලිත පමුණුවේ රුපියල් 400 ට 500 ට තිබූ කෑල්ලක් දැන් රුපියල් 800 ත් 1000 ත් අතර මුදලකට මිල ඉහළ ගොස් ඇත. කිරි ඉතිර වීමට ගන්නා ඇළුමිනියම් මුට්ටියක්, ඇතිලි, තාච්චි, කරමූඩි සියයට 25 කින් මිල ඉහළ නංවා ඇත.   


 කැවුමක් රුපියල් 35 සිට 70 දක්වා ද, කොකිසක් රුපියල් 30 සිට 50 දක්වා ද දැනටමත් මිල ඉහළ නංවා ඇත.   
 මෙවර සිංහල අලුත් අවුරුද්ද සැමරීමත් බෙහෙවින් දුෂ්කර වනු ඇත.   
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ත්‍රිරෝද ගාස්තුව පාසල් වැන් රථ ගාස්තුව ඉහළ නැග ඇත. ඒ අනුව ත්‍රිරෝද රථයක ආරම්භක කිලෝ මීටරය රුපියල් 80 කින් ඉහළ දමා ඇත. බහාලුම් ප්‍රවාහන ගාස්තුව ද සියයට 60 කින් ඉහළ දමනු ලැබූ බව සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ ඒකාබද්ධ සංගමය සඳහන් කරයි.   


සිමෙන්ති කිලෝග්‍රෑම් 50 ක කොට්ටයක මිල සියයට 34.5 කින් ඉහළ දමා ඇත. ඒ අනුව රුපියල් 1375 ක් වූ සිමෙන්ති කොට්ටයක් ගිය සතියේදී රුපියල් 1850 - 1900 අතර මිලකට ඉහළ ගොස් ඇත.   


 රුපියල් 20,000 ක්ව පැවැති ජංගම දුරකථනයක මිල රුපියල් 26,000 ක් දක්වා ඉහළ නැග ඇත. ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තුව ද සියයට 27 කින් ඉහළ දමා ඇත. පිටු 80 කොපි පොතක් රුපියල් 55 සිට 80 දක්වා වැඩිය. ඒ-4 කොළ පැකට්ටුවක් 1200 සිට 1700 දක්වා වැඩි වී ඇත.   


 මිල වැඩි නොවූ භාණ්ඩයක් නොමැත. සියලු භාණ්ඩ මිල ඉහළ ගොස් ඇත. මේ මිල ඉහළ යාම දරා ගැනීමට නොහැකි ජනතාව නොසන්සුන් වන අවස්ථා දක්නට ලැබෙයි.   


විශේෂයෙන් ඉන්ධන හා ගෑස් හිඟය රටපුරා නොසන්සුන්තාවයක් ඇතිවීමට හේතු වී ඇත. ජනතාව විටින් විට සිදු කරන විරෝධතාව මාර්ග හරස් කිරීම වැනි ක්‍රියා මාර්ග හමුවේ මේ නොසන්සුන්තාව ඇති වී තිබේ. මේ මොහොත වන විට ඉන්ධන පිරවුම්හල්වලට හමුද‌ාව යොදවා සිටිති. පොලිසිය මැදිහත් වී විරෝධතාවන් සමතයකට පත් කරති. ඒත් මේ කවද‌ා වනතුරු ද?   

 

 

දයාසීලි ලියනගේ