ළිං කුහරයක සිරවී මියගිය දරු පැටියා


 

ළිං කුහරයක දින පහක් සිරවී සිටි පස් හැවිරිදි රයන් ඕරාම්ට අත්වුණු අවාසනාවන්ත ඉරණම මුළු ලොවම කම්පා කළේය. රයන්ගේ මව, පියා ඇතුළු මොරොක්කෝ වැසියන් පමණක් නොව, මුළු ලොවම ප්‍රාර්ථනා කරන්න වූයේ රයන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වේවා යනුවෙනි. දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්, පැය 24 පුරා නොනැවතී, වෙහෙස නොබලා, රයන් බේරා ගැනීමට කාලය සමඟ ලොකු සටනක් කළේය. ඒත් අඳුරු සීතලේ බියේ ගැහෙමින්, අම්මේ තාත්තේ මාව බේරා ගන්න යැයි හඬමින්, අඩි 100 ක් පමණ ගැඹුරු ළිං කුහරයක සිරවුණු පුංචි පොඩ්ඩකුට දින පහක් යනු දීර්ඝ කාලයකි. පසුගිය පළමු වැනිදා ළිං කුහරයට වැටී සිරවුණු රයන්, සිරවී සිටි තැනින් ඉවත්කර ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වූයේ පස් වැනිදා සවසය. ප්‍රමාද වැඩිය. රයන් ඕරාම් ඒ වනවිටත් අවසන් සුසුම් ඒ සීතල අඳුරු ළිං කුහරයට මුසු කර අවසන් විය.  

 රයන් ඕමාර් සිය මව සහ පියා සමඟ ජීවත් වූයේ, උතුරුදිග මොරොක්කෝවේ, ෂෙෆ්ෂැවුවින් පළාතේ, ටමෝරොට් නමැති කුඩා දුෂ්කර නගරයේය. ළිං කුහරය පිහිටියේ ද ටමෝරොට් නගරයට නුදුරිනි. රයන්ගේ පියා එම ළිං කුහරය පිළිසකර කිරීමට ගිය බව පැවැසෙයි. එම ගමනට ඔහු ඔහුගේ පුතු පමණක් නොව බිරිඳ ද සහභාගී කරවා ගත්තේය. සෙල්ලම් කරමින් විනෝදයෙන් සිටි රයන් හිටි හැටියේ ළිං කුහරයට වැටුණේ එක් මොහොතක තම අවධානය පුතුගෙන් ගිලිහුණු නිසා යැයි පියා හඬමින් පවසා තිබේ.   


 අඟල් 9.8 ක (සෙන්ටි මීටර් 25) විශ්කම්භයකින් යුත් ගැඹුරු ළිං කුහරයට වැටුණු රයන් එහි මීටර් 35 ක් (අඩි 105) පහළින් සිරවිය. ඒ ළිං කුහරය පහළට යද්දී තවත් පටු වූ බැවිනි. පහළ සිරවුණු රයන් සිටියේ තුවාල ලබාය. ළිං කුහරයට රිංගා රයන් බේරා ගැනීම ද කළ නොහැකි විය. රයන්ගේ පියා සහ මව පමණක් නොව, ඔවුන්ට සහාය දක්වමින් ටමෝරොට් නගර වැසියෝ ද රයන් මුදා ගැනීමට උත්සහ කරන්න වූහ. සිද්ධිය සැලවුණු සැණින්, පළාත් බලධාරීන් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එහි පැමිණි අතර කැමරාවක් ළිං පතුළට යවා රයන් යහතින් සිටිනවාදැයි විමසා බැලුවේය. රයන් හුස්ම ගන්නා බව වීඩියෝ දසුන්වලින් පෙණුනි. ඒ අනුව බටවල ආධාරයෙන් රයන්ට දියරමය ආහාර, ජලය පමණක් නොව ඔක්සිජන් ද යැවීම සිදුවිය.  
 සමාජ මාධ්‍ය ඔස්සේ රයන්ට සිදුවුණු අකරතැබ්බ ප්‍රසිද්ධියට පත් වෙද්දී මොරොක්කෝ රජුගේත්, මොරොක්කෝ රජයේත් අවධානය යොමු විය. දරුවා බේරා ගැනීමට උනන්දු වන්නැයි මොරොක්කෝ බලධාරීන්ට ජනතාවගෙන් විශාල පීඩනයක් ද එල්ල විය. මොරොක්කෝ සිවිල් ආරක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලය. රයන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා එක් වූ අතර, බැකෝ යන්ත්‍ර සහ අවශ්‍ය සියලු කැණීම් උපාංග ලබා දීම සිදුවූයේ ඉන් අනතුරුවය. මොරොක්කෝ පොලිස් බළ ඇණියක් ද ළිං කුහරය පිහිටි ස්ථානයට යැවුණි. ඒ, රයන් බේරා ගැනීමේ මෙහෙයුම් දැක ගැනීමට දහස් ගණනින් මොරොක්කෝ වැසියන් එම ස්ථානයට එක් රොක් වුණු බැවිනි. ඔවුන් සියලු දෙනාගේ එකම ප්‍රාර්ථනාව වූයේ රයන් යහතින් බේරා ගැනීමට හැකිවේවා යන්නය.  
 දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්, දිවා රෑ නොබලා රයන් සිරවී සිටි ස්ථානයට ළඟා වීමට සිරස්ව මෙන්ම තිරස්ව ද කැණීම් කළේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමිනි. කැණීම් කටයුතු සෙමින් මෙන්ම ඉතා පරිස්සමෙන් ද කළ යුතු විය. ඒ, ළිං කුහරය පස්වලින් වැසී යෑමේ අවදානමක් පැවැති බැවිනි. ගලවා ගැනීමේ කණ්ඩායම, රයන් සිටි තැනට ළඟා වී, රයන් ඔසවා පිටතට ගන්නා අවස්ථාවේ දී පවා වෛද්‍ය කණ්ඩායමක් පමණක් නොව ගිලන් රථයක් සහ හෙලිකොප්ටර් යානයක් ද සූදානමින් තැබුණි. රයන් පිටතට ගන්නා අවස්ථාවේ දී රැස්ව සිටි පිරිස ප්‍රීති ඝෝෂා නගන්න වූහ. රයන් දිවියෙන් සමුගෙන සිටි බව ඒ වනවිට කිසිවකු හෝ දැන සිටියේ නැත. දෙස් විදෙස් මාධ්‍යවේදීහු ද දිවා රෑ නොබලා රයන් බේරා ගැනීමේ මෙහෙයුම් සජීවීව වාර්තා කරමින් සිටියහ. ලොව අස්සක් මුල්ලක් නෑර සෑම කෙනකුම පාහේ රයන්ට සිදුවන්නේ කුමක්දැයි රූපවාහිනියෙන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ නරඹන්නට විය.  


 රයන් ගිලන් රථය වෙත ගෙන ගොස්, වෛද්‍යවරුන්ට යොමු කළ විට ඔවුන් පැවැසුවේ ඒ වනවිටත් රයන් මිය ගොස් සිටි බවය. එය දිවි ගලවා ගැනීමේ මෙහෙයුම සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමින් එම ස්ථානයේ රැඳී සිටි පිරිසගේත්, විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් රයන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කළ සියලු දෙනාගේත් දෑස් කඳුළින් තෙත් කිරීමට හේතුවක් විය.  


 රයන්ට සිදුවුණු අකරතැබ්බ සම්බන්ධයෙන් හය වැනි අබ්දුල්ලා රජු පවා කම්පාවට පත්විය. ඔහු රයන්ගේ මව සහ පියා අමතමින් මුළු හදවතින්ම ශෝකය පළ කළේ යැයි මොරොක්කෝ රජ මාලිගය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. පසුගිය 7 වැනිදා රයන්ගේ අවසන් කටයුතු ඔහුගේ උපන් නගරය අසල දී සිදුවිය. එම අවස්ථාවට ද දහස් ගණනක් දෙනා සහභාගී වූ අතර, එම පිරිස පාලනයට ද පොලිසිය යෙදවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  
අල් ජසීරා ඇසුරිනි.

 

 

 ලුසිත ජයමාන්න