සැකයක් නිසා මස්සිනාට වෙඩි තබා එල්ලුම් ගහට නියම වූ රාලහාමි


පොලිස් පොතෙන් 

චූදිත මරණ දඬුවම නියම කිරීමෙන් පසු රැගෙන ගිය අයුරු.

 

මිනිස් සිතේ ඇතිවන පුංචි සැකයක් මහ ගහක් සේ දළුලා වැඩෙන්නට ඉඩදීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අපරාධය සිදුව තිබේ. දරුවන් සිව් දෙනෙකුට හා බිරිඳකට සැමියෙක් අකාලයේ අහිමිව තිබේ. බිරිඳ කෙරෙහි වූ අසීමාන්තික සැකය නිසා බිරිඳ අද වෙන්ව සමාජයේ තනිව ජීවත් වෙයි. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාටද බිරිඳ හා දරුවන් අතහැර ගොස් මරණීය දණ්ඩනය නියම කරනතෙක් මහ උළුගෙදරට වී බලා සිටීමට සිදුව තිබේ.   

බෝදාගම, තණමල්විල පදිංචි 55 වැනි වියේ පසු වූ එල්. ඩී. ජයලත් හා එස්. ආර්. සුමනාවතී දෙදෙනාට දාව දරුවන් පස් දෙනෙකි. ඒ ගැහැණු දරුවන් 03ක් හා පිරිමි දරුවන් 02ක් ලෙසය. මෙම දරුවන් අතරින් වැඩිමහල් දියණිය වූ නිල්මිණී විවාහ වූයේ 1993 වසරේදීය. ඒ පොලිස් කොස්තාපල්වරයෙකු වූ දිසානායක මුදියන්සේලාගේ ජයසුන්දර නමැත්තා සමගය. විවාහයෙන් වසර දෙකකට පසු එනම් 1995 වසරේදී ජයසුන්දර පොලිස් රැකියාවෙන් ඉවත්ව 1997 වසරේ සිට 03 කණුව, අඟුණුකොළවැව, බෝදාගම ලිපිනයේ පිහිටි නිවසේ බිරිඳ සමග ගොවිතැන් කටයුතු කරගෙන ජීවත් විය. විවාහයෙන් ඔවුන් දෙදෙනාට දාව දරුවන් සිව් දෙනෙකි. නිල්මිණීගේ බාල සොහොයුරිය වූයේ පද්මිණීය. පද්මිණී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු වසර තුනක් තණමල්විල ගාමන්ට් එකක රැකියාව කළ අතර එහිදී වූ දැන හැඳිනගැනීමක් මත බෝදාගම පදිංචි අයෙකු හා 1997 වසරේදී විවාහ වී තිබේ. දෙදෙනා අතර වූ නොගැළපීම මත පද්මිණී සිය සැමියාගෙන් නීත්‍යානුකූලව වෙන් විය. ඒ විවාහයෙන් වසරකට පසුවය. පසුව නිවසට වී මැහුම් ගෙතුම් වැඩකරගෙන පද්මිණී නිවසට වී සිටි අතර මැහුම් උපදේශිකාවක් ලෙස ප්‍රදේශයේ ආයතනයක ටික කළක් සේවය කළාය.

එලෙස කටයුතු කරගෙන යද්දී පද්මිණීට හෙට්ටිආරච්චිගේ ජයසේන නමැති අය හමුවී තිබේ. ඔහු තිස්සමහාරාම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි. දෙදෙනා අතර වූ හාදකම දුරදිග ගොස් වෙනම නිවසක්ද කුලියට ගෙන දෙදෙනා විවාහ නොවී 2005 දෙසැම්බර් මාසයේ සිට අඹුසැමියන් ලෙස ජීවත්ව සිට තිබේ. එලෙස ජීවත් වූ දෙදෙනා 2008 වසරේදී නීත්‍යානුකූලව විවාහ වී ඇති අතර විවාහයෙන් දෙදෙනාට දාව එක් දරුවෙකුද බිහි විය. විවාහයෙන් පසුවද දෙදෙනාට පවුල් කෑමට සිදු වූයේ මාස කිහිපයක් පමණි. ජයසේන අධික ලෙස මත්පැන් බීමට ඇබ්බැහි විය. ඒ හේතුව නිසාම දෙදෙනා අතර නිතර නිතර ආරවුල් හටගැනීමට පටන් ගැණුනි. බීගෙන නිවසට පැමිණෙන ජයසේන නිතර පද්මිණීව සැක කරන්නට විය. “උඹ අක්කගේ මිනිහත් එක්ක හොඳයිලු‍. මං තොපි ඔක්කොම මරනවා“ කියමින් ජයසේන නිතර නිතර රණ්ඩු කරන්නට විය. දෙදෙනා අතර නිතර රණ්ඩු ඇතිවීම හේතුවෙන් පද්මිණීගේ අක්කා වූ නිල්මිණී හා ඇයගේ සැමියා වූ ජයසුන්දර (මරණකරු) දෙදෙනාට අවවාද කළ අවස්ථාද බොහෝ විය. ජයසේන බීගෙන ගෙදර ඇවිත් රණ්ඩු කරන විට පද්මිණී ඔහු මගහැර කාගේ හෝ නිවසකට වී සැඟවී සිටින්නීය. සිය බිරිඳ වූ පද්මිණී ඇයගේ අක්කාගේ සැමියා වූ ජයසුන්දර සමඟ ඇයි හොඳයියක් පවත්වන බවට ජයසේනගේ සිතේ වූ සැකය දිනෙන් දින දළු දා වැඩෙන්නට විය. සියලු දෙනා එක්ව එවැනි පලහිලව්වක් ජයසුන්දර හා පද්මිණී දෙදෙනා අතර නැති බව කීවද ජයසේන එය පිළි නොගත්තේය. දිනෙන් දින ඔහු තුළ වූ සැකය වැඩි වෙන්නට විය.   
දිනය 2008.10.31 ය. නිල්මිණීගේ සැමියා වූ ජයසේනට එදින රාත්‍රී රාජකාරි කරන දිනයක් විය. ඒ අනුව තිස්සමහාරාම පොලිසියට අනුයුක්තව රාජකාරි කළ ජයසේන රාලහාමි එදින රාත්‍රි තිස්සමහාරාම අධිකරණ භූමියේ රාත්‍රි ආරක්ෂක රාජකාරියේ යොදවා තිබුණි. එදින රැය පහන් වන තුරුම ජයසේන සිය බිරිඳ වූ පද්මිණී පිළිබඳ සැකයෙන් පසුවන්නට විය. තමන් රාජකාරියට පැමිණි වෙලේ තම බිරිඳ වූ පද්මිණී නිල්මිණීගේ සැමියා වූ ජයසුන්දර සමග අනියම් ඇසුරක් පවත්වනවා ඇතැයි නිතර සිතන්නට වීය. 2008.11.01 දින දහසක් බුදුන් බුදුවෙන පාන්දර සිය රාජකාරිය නිමා වීමටත් පෙර ජයසේන තම අත වූ ගිනි අවියද රැගෙන පිම්මේ අඟුණුකොළවැව පිහිටි සිය බිරිඳගේ අක්කාගේ ගෙදරට ගියේය. ඒ යන විට වේලාව 05.30ට ආසන්නය. ඒ වන විටත් නිල්මිණී හා ජයසුන්දර නිදි යහනේය. නිවසට ගිය ජයසේන ජයසුන්දරට කතා කළේය. එදින ජයසුන්දර සමග ගොවිතැන් වැඩ කරන හිතුවතෙකුද නිවසේ රැඳී සිට තිබේ. ජයසුන්දරට ‘මල්ලි කවුද අන්න පොලිසියේ රාලහාමි කෙනෙක් ඇවිත් ඔයාට කතා කරනවා යැයි’ නිවසේ සිටි ජයසුන්දරගේ යහළුවා පැවැසීය.   
ඒ අනුව නිදි යහනේ සිටි ජයසුන්දර නිවසින් එළියට ආවේ පැමිණියේ කවුරුන්දැයි බැලීමටය. ඒ පිටුපසින් ජයසුන්දරගේ බිරිඳ වූ නිල්මිණීද දොර අසලට ආවේය. පැමිණ සිටින්නේ සිය නැගනියගේ සැමියා බව දුරසිටම දුටු නිල්මිණී කහට කෝපයක් වත් කිරීමට කුස්සිය දෙසට ගියාය. ජයසුන්දරද පැමිණ සිටින්නේ සිය බිරිඳගේ නැගණියගේ මහත්තයා නිසා සිනාසීගෙනම ඔහු අසලට ගියේය. ගත වූයේ නිමේෂයකි. ජයසේන අත වූ ටී පනස් හය වර්ගයේ ගිනි අවියෙන් ජයසුන්දරගේ පපුව පසාරු කරගෙන යාමට වෙඩි උණ්ඩ 10ක් පමණ තැබීය. එළියෙන් ඇසුණු වෙඩි ශබ්දය බැලීමට ජයසුන්දරගේ බිරිඳ වූ නිල්මිණී දොර අසලට පැමිණ බලද්දී ජයසේන සැමියාට වෙඩි තබා යනු දැක තිබේ. වෙඩි තැබීමට වූ එකම හේතුව වී තිබුණේ ජයසුන්දර තම බිරිඳ සමග අනියම් සබඳතාවක් ඇතැයි ඔහු තුළ වූ සැකයය.   

 

අධිකරණය

 

වෙඩිපහර කාගෙනම ජයසුන්දර දිව විත් නිවස තුළ ඇදවැටිණි. ජයසුන්දරගේ බිරිඳගේ විලාප හඬ ඇසී අසල්වැසියන් එහි විත් බලන විට ජයසුන්දර නිවස තුළම මැරී වැටී සිටියේය. ලු‍ණුගම්වෙහෙර පොලිසියට අදාළ සිදු වීම පිළිබඳ දුරකථන ඇමතුමකින් දැනගන්නට ලැබුණි. ඒ අනුව පොලිසිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කෙරුණු අතර සිද්ධිය පිළිබඳව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කෙරුණි. ඒ අනුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ ගුණවර්ධන මහතා සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර සිරුර දෙබරවැව මූලික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ලු‍ණුගම්වෙහෙර පොලිසියට නියෝග කෙරුණි.   


කෙසේ වෙතත් සිද්ධියෙන් පසු ටී 56 වර්ගයේ ගිනිඅවිය හා උණ්ඩද සමග සැකකාර පොලිස් කොස්තාපල්වරයා ප්‍රදේශයෙන් පළාගොස් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ විවිධ ප්‍රදේශවල රැඳී සිටිමින් පාතාල කල්ලි සමග සමීප සබඳතා පවත්වමින් සිට තිබේ. එලෙස පොලිසියට කට්ටි පනිමින් සිටි චූදිත පොලිස් කොස්තාපල්වරයා 2010.03.28 දින බලහරුව බඹරකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කුඩාඔය කමාන්ඩෝ යුද හමුදා නිලධාරීන් බඹරකන්ද ප්‍රදේශයේ යුද පුහුණු අභ්‍යාසයක නිරතව සිටියදීය. එම අවස්ථාවේ චූදිත පොලිස් කොස්තාපල්වරයා තවත් පුද්ගලයකු සමග අංක තහඩු රහිත යතුරු පැදියක් සමග කැලයේ සැඟව සිටියදී කමාන්ඩෝ නිලධාරීන් භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී ජංගම දුරකථනයක්, ටී 56 වර්ගයේ ගිනිඅවියක්, ජීව උණ්ඩ 22 ක් හා මැගසින් 01ක් සොයාගෙන තිබේ. පසුව විමර්ශන කටයුතු සඳහා ඔවුන් දෙදෙනා තණමල්විල පොලීසියට භාරදීමට කමාන්ඩෝ නිලධාරීන් කටයුතු කර තිබේ. පසුව චූදිතයින් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එහි එක් චූදිතයෙකු වූ පොලිස් කොස්තාපල් ජයසේන නමැති අය ලු‍ණුගම්වෙහෙර පොලිස් බල ප්‍රදේශයේ වූ අඟුණුකොළවැව මරණයේ චූදිත බවට හඳුනාගෙන ඇත. ඒ අනුව චූදිතට එරෙහිව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මූලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි. හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩුව කැඳවූ පළමු දිනයේ චූදිතට ඇප තැබීම සඳහාද ඉදිරිපත්ව තිබුණේ තමන්ගේ බිරිඳ වූ පද්මිණී හා තවත් ඥාතියෙකු පමණි. ඒ අනුව නඩු විභාගය ආරම්භ කෙරුණු අතර චූදිත ඇප මත නිදහස්ව අධිකරණය වෙත පැමිණියේය. එලෙස අධිකරණයට පැමිණෙමින් සිටියදී චූදිත පොලිස් කොස්තාපල්වරයා යළි දිගින් දිගටම බිරිඳ වූ පද්මිණී සමග ආරවුල් ඇතිකරගැනීම හේතුවෙන් පද්මිණී අධිකරණයට ඉදිරිපත්ව තමන් චූදිත පොලිස් කොස්තාපල්වරයා වූ ජයසේන නමැති අයගේ ඇපකාරත්වයෙන් ඉල්ලා අස්වන බව අධිකරණයට පැවසීය. ඒ අනුව චූදිත ඒ වෙනුවට වෙනත් ඇපකාරයෙකු ඉදිරිපත් කළ අතර බිරිඳ සිය ඇපකාරත්වයෙන් ඉවත් වූ කේන්තියට චූදිත පොලිස් කොස්තාපල්වරයා බිරිඳ පදිංචිව සිටි නිවසට ගිනි තබා විනාශ කරන ලදී. ඒ අනුව පොලිසිය විසින් චූදිත අත්අඩංගුවට ගෙන යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප කොන්දේසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට පූර්වගාමී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.   


එලෙස පැවති නඩු විභාගයේදී චූදිතට එරෙහිව නගා තිබූ අධිචෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් හම්බන්තොට පූර්වගාමී මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා චූදිතට මරණීය දණ්ඩනය නියම කෙරුණි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් නියම කරන ස්ථානයකදී හා වේලාවකදී මරණීය දණ්ඩනය නියම කරන තෙක් චූදිත කොළඹ පිහිටි වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසටද මහාධිකරණ විනිසුරුවරයා අඟුණුකොළපෑලැස්ස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කෙරුණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ශෙහාන් මුස්තාපා මහතා පැමිණිල්ල මෙහෙයවන ලදී.

 

 

සටහන හා සේයා රූ :
සූරියවැව දිලීප් ජයසේකර