වාහනවල වායුසමීකරණ අලුත්වැඩියා කරන ප්‍රියංගා


සොඳුරු 

  • හයිය එන්න නම් වැටෙන්න ඕනෑ   
  • ගොඩක් අය කතා කරන්නේ කලපලුවාවේ ඒ.සී. අක්කා කියලා

 

 ‘‘මම පවුලේ එකම දරුවා. පුංචිම කාලෙදී නම් වාහන හදන්න, යකඩ කෑලිවලට ආසාවක් තිබුණේම නැහැ. ටික ටික ලොකු වෙනකොට මට තිබුණේ වෙනස් හීන. ලස්සනට අඳින්න මේකප් කරන්න මාත් ආසයි. හැබැයි ඒ ෆැන්ටසි ලෝකෙට වඩා මම බැලුවේ ජීවිතේ දිනන්න අරමුණක් විතරයි. මම ඔටෝ A/C ජපන් වාහනවල වායුසමීකරණ අලුත්වැඩියා කරන වැඩපළ පටන් ගනිද්දී Opening එකට එක වාහනයක්වත් තිබුණේ නැහැ. හැබැයි අද මගේ ළඟට වැඩිපුරම එන්නේ ලංකාවේ ප්‍රභූන්ගේ වී.අයි.පී. වාහන. මෙසේ කියන්නේ ප්‍රියංගා සංජීවනීය.   


ඇයට මේකප් නැත. විලාසිතා නැත. ඇයට තිබෙන්නේ දිනීමේ අරමුණ පමණි. සාම්ප්‍රදායික රැකියාවෙන් ඔබ්බට ඇය නියැලෙන්නේ කාන්තාවන් යොමු නොවන වෙනත් වෘත්තියකටය. ඇය පිරිමින් සමග උරෙන් උර ගැටෙමින් අභියෝග සියල්ල දරාගනියකි.   
ලංකාවේ වාහනවල වායුසමීකරණ අලුත්වැඩියා කරන එකම කාන්තාව ඇයයි.   
අභියෝග සියල්ල දරාගනිමින් තම දෛවය වෙනස් මාවතකට පෙරළාගත් ප්‍රියංගා සංජීවනී අප සමග දොඩමලුවූවාය.   


අද “සොඳුරු” වෙන්වෙන්නේ තරුණ වියේ පටන් ‘‘මජං’’ ඇඳුමට පෙම් බඳිමින් වාහනවලට පණ දෙන දිරිය ගැහැනිය ප්‍රියංගා වෙනුවෙනි.   


‘‘මගේ පාසල බොරැල්ල රත්නාවලී බාලිකා විද්‍යාලය. පුංචි කාලේ ඉඳලා අධ්‍යාපනයට සාමාන්‍ය දක්ෂතාවක් තිබුණා. සාමාන්‍ය පෙළෙන් පස්සේ මම උසස් පෙළට තෝරාගත්තේ වාණිජ අංශය. ඒ වෙනකොට මගේ ඔළුවේ වැඩ කළා හොඳ රැකියාවක් කරන්න ඕන කියන අදහස. පවුලේ එකම දරුවා නිසා දෙමාපියෝ දෙන්නා මට අවශ්‍ය හැමදේම දුන්නා. උසස් පෙළට ආවට පස්සේ ඉතින් හීන දෝලනය වන වයසනේ. හීන නම් ගොඩක් තිබුණා. හැබැයි ඒ හීන වෙනස් වෙලා මගේ මාවත මේ පැත්තට හැරෙන්නේ උසස් පෙළින් පස්සේ.   
සිනිඳු දෑත්වලට යකඩ බර වැඩි බව දැන දැනත් ඇයගේ හිතේ ආසාව දෛවය විසින් වෙනස් මාවතකට ගෙනයන්නේ විසි වැනි වියේදීය. කාර්මික අංශයට ඇති වූ කැමැත්ත මත ඇය මේ ක්ෂේත්‍රය පිළිබඳ අහුමුලු අතපත ගාමින් දැනුම ලබා ගන්නට හැකි සෑම විටම උත්සාහ කළාය. යෞවනියක් වුවද ඇය මහා ලොකුවට ජීවිතේ සිහින මාලිගා තැනුවේ නැත. තරුණ වියේ පටන්ම ජීවිතේ පිළිබඳ වෙනස් විදිහට සිතූ ප්‍රියංගා යකඩ කඳන් සමග තම ජීවිත ගමන කෙසේ හෝ ගොඩනංවාගන්නට මැවූ හීනය කෙතරම් බාධක ආවද ඇය අත්නොහැරියාය.  


උසස් පෙළින් පස්සේ කාර්මික අංශයට යන්න ඇති වුණු ආසාවත් එක්ක මම ගරාජ් වැඩපළක වැඩට යන්න තීරණය කළා. මේ ආසාව කොහොම ඇති වුණාද කියලා මටවත් හිතාගන්න බැහැ. ගැහැනු ළමයෙක් තෝරා නොගන්නා ක්ෂේත්‍රයක් නිසා මගේ සමහර යාළුවෝ පුදුම වුණා. මුලදී මට හිනා වුණා. මගේ අම්මා මාව දිරිමත් කළා. ගරාජ් එකේ වැඩ කරගෙන යන අතරේ මම ඔරුගොඩවත්ත නයිටා ආයතනයේ වාහනවල A/C (වායුසමීකරණ) පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවා. ඇත්තටම ඒක කළේ ආසාවට වගේ. ඒක මගේ වෘත්තිය වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. මොකද ගරාජ් එකේ වැඩ කළාට මගේම කියලා වැඩපළක් දාගන්න මගේ හීනෙකවත් තිබුණේ නෑ. එච්චර මුදලක් සහ ඒ වගේ දැවැන්ත අභියෝගයක් බාරගන්න මට ශක්තියක් තිබුණෙත් නැහැ.   


ඔය විදිහට අවුරුදු 10ක් මම අනුන් යටතේ වැඩ කළා. ඒ අවුරුදු 10 ඇතුළේ මේ කාර්මික ක්ෂේත්‍රයේම විවිධ ඉසව් මම ඉගෙන ගත්තා. වැඩපළක පරිපාලන කටයුතු වගේම ගරාජ් වැඩපළක තියෙන සියලුම දේවල් මම ඉගෙන ගත්තා. ඇත්තටම ඒ අත්දැකීම් තමයි මගේ ගමනට ලොකු පිටුවහලක් වුණේ.   
වසර ගණානවක් ගරාජයක අනුන් යටතේ රැකියාව කරමින් බොහෝ දෑ උගත්තත් මේ ක්ෂේත්‍රයේ දීර්ඝකාලීනව නිරත වන්නට ඇයට අවශ්‍ය නොවීය.   
ප්‍රියංගාගේ සැමියාද ඇයට මුණගැහෙන්නේ ගරාජ් රැකියාවට යන අතරතුර. විවිධ රැකියාවන්ට හිත එහේ මෙහේ දිව යන කාලසීමාවකය.   


මගේ සැමියා මුණගැහෙනකොට මම ගරාජ් එකේ වැඩ කරනවා. මුල ඉඳලම ඔහු මගේ ගමන තේරුම් ගත්ත කෙනෙක්. සැමියා ඒ වෙනකොට සේවය කළේ ග්‍රාමීය බැංකුවේ. එතකොටත් ගරාජ් රැකියාව දිගටම කරනවද කියලා මම තීරණය කරල තිබුණේ නැහැ. විශේෂයෙන්ම මගේම කියලා වැඩපළක් දාගන්න.   
එතකොට ඔබට මේ හයිය ආවේ මේ අඩිය තිබ්බේ කොතනින්ද මම ඇයගෙන් විමසීමි.   
හයිය එන්න වැටෙන්නම ඕනෑ. ජීවිතේ එක තැනකදී ආර්ථික මට්ටමින් පහළටම ඇද වැටුණා. අන්න එතනින් තමයි හිතට හයිය ගන්නේ නැගිටින්න. මම මේ ක්ෂේත්‍රය ගැන ඉගෙන ගත්තත් ගෑනු කෙනෙකුට මේ ක්ෂේත්‍රයේ තැනක් හදාගන්න පුළුවන් වේවි කියලා හිතුවේ නැහැ. ජීවත් වෙන්න අගහිඟකම් වැඩි වෙලා ආර්ථික අතින් ගොඩ එන්න ක්‍රමයක් හොයනකොට තමයි වෙන මුකුත් ඕන නෑ පළපුරුද්ද තියෙන රැකියාවනේ කියලා මේක වෘත්තිය හැටියට මගේම කියලා තැනක ආරම්භ කරන්න හිතුවේ. මේකෙන් ඔළුව උස්සනවා කියලා හිතාගෙන ආවට ඒක හිතන තරම් ලේසි වුණේ නැහැ.   


මම වැඩපළ ආරම්භ කරන්න හදද්දී ගෑනුන්ට ​ඕවා කරන්න පුළුවන්ද, ඕවා කරලා කවදා ගොඩ යන්නද, ඕවා හරියන්නේ නෑ කියලා පවුලේ හිතවතුන් මට හිනා වුණා. මේ සමාජයේ ගැහැනියක් ඔළුව ඔසවනවා කියන්නේ හරිම අමාරු වැඩක්. අපි ගෑනු, අපිට සමාජයේ මිනිස්සු හිනා වේවි කියලා අත් දෙක බැඳගෙන හිටියොත් අපි හැමදාම එකම තැන. මේ ලෝකේ කිසිම රැකියාවක් ලේසියි කියලා නැහැ. අමාරුයි. වගකීම් වැඩියි. අභියෝග එනවා. ඒවා විඳදරාගන්න එක තමයි ජීවිතේ කියන්නේ. පිරිමි කරන රස්සා ගෑනුන්ට කරන්න බෑ කියන සමාජ මත බොරුවක්.  පුහුණුවයි, අත්දැකීමයි, කැපවීමයි, සමාජ ගනුදෙනුවයි හරියට තියෙනව නම් ගෑනුන්ට කරන්න බැරි රස්සා මේ ලෝකේ නැහැ. මිනිස්සු කොච්චර මට හිණා වුණත් මම ගියේ මගේ අරමුණට.   
අනුන් යටතේ අවුරුදු දහයකට වැඩි කාලයක් වැඩ කරලා, මගේම කියලා වැඩපළක් පටන් ගන්න අවුරුදු 12ක් ගියා.   


හතළිස් අට හැවිරිදි දෙදරු මවක් වන ප්‍රියංගාට තනිව ගරාජ් වැඩපළ ආරම්භ කිරීමේදී එල්ල වූ බාධක ප්‍රතික්ෂේප වීම් සුවිශාලය. එහෙත් ගැහැනියක් ලෙස ඇය ඒ සියලු අභියෝග සතුටින් භාරගත්තාය. මීට වසර 13කට පෙර අභියෝග මැදින් ආ ඇය ලංකාවේ එකම වාහන (A/C/ වායුසමීකරණ) අලුත්වැඩියා කරන කාන්තාව වන්නේ ​දෛවෝපගතවය.   


මුලදී වැඩේ පටන් ගත්තේ මට හිතවත් මල්ලි කෙනෙක් එක්ක. කුලියට තැනක් අරගෙන ගිහින් තමයි මුලින්ම ගරාජ් එක ආරම්භ කරන්න සූදානම් වුණේ. ඒ වෙනකොට ඉතිරි කරගත්ත සල්ලි ටිකකුත් තිබුණා. මගේ අම්මා කිව්වා කුලියට යන්න එපා, ගෙදරම වැඩපළ පටන්ගන්න කියලා. මම ජීවත් වන ගෙදර සාලේ කඩලා තමයි එදා මේ වැඩපළ ආරම්භ කළේ. පටන් ගත්ත මුල් කාලේ නම් මේක දමලා ගහලා යන්න හිතුන වාර අනන්තයි.   


මේ වැඩපළ ආරම්භ කරපු දවසේ (Opening) එකේදී එක වාහනයක්වත් තිබුණේ නැහැ. ඒ අතරෙදි මට හිතුණා මොන අපරාධයක්ද කරගත්තේ කියලා. කරගත්ත මෝඩකමක් කියලා හිතට හිතුණා. පස්සේ ගෙදර සාලේ කඩලා පටන් ගත්ත නිසා මේක කොහොම හරි කරගන්නවා කියලා හිතට ගත්තා.   
මේ වැඩේ පටන් ගනිද්දී මට පාපැදියක්වත් තිබුණේ නැහැ. වාහනවලට අවශ්‍ය බඩු ගේන්න ගියේ කුලියට ත්‍රීවීල් අරගෙන. ඊට පස්සේ මම මෝටර් බයිසිකලයක් අරගෙන පදින්න පුරුණු වුණා. ඒ විදිහට තමයි පටන් ගත්තේ. වැඩපළ විවෘත කරන දවසේ එකම වාහනයක්වත් ආවේ නැති වුණාට මම දැඩි අධිෂ්ඨානයෙන් පටන් ගත්ත වැඩේ අතෑරියේ නැහැ.   


ගෑනියෙකුට මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා මං දිහා බලපු මට්ටමේ පිරිසක් හිටියානේ. ඇත්තටම මට මුලදි වැඩ ආවෙම නැහැ. මුලදී ප්‍රශ්න ගොඩක් ආවා. ලොකුම ප්‍රශ්නය වුණේ ගෑනු කෙනෙකුට වැඩක් භාර දෙන්න තිබුණ බය. ඒ වුණාට මම ටිකක් දුර කරගෙන යනකොට ඒ විශ්වාසය මත මගේ ළඟට සේවාදායකයෝ එන්න පටන් ගත්තා. ගෑනුකෙනෙක් මේ වගේ වෙනස් රැකියාවක් කරනකොට කොහොමත් සමාජයේ අය බලන්නේ වපර ඇහෙන්. මේ තැන ව්‍යාපාරය දියුණු කරගන්න මම ගොඩක් කැප කිරීම් කළා. ගොඩක් දුක් වින්දා. අද මං ඉන්න තැන ගැන බොහොම නිහතමානීව සතුටක් දැනෙනවා. මුලදී මට වැඩ දෙන්න බය වුණ අය දැන් මාව හොයාගෙන එනවා. වාහනේ හදාගන්න. ලංකාවේ ඉහළ පෙළේ ඉන්න වී.අයි.පී. අයගේ වාහන පවා මගේ ළඟට ගේනවා වාහනවල A/C හදන්න. ඇත්තම කතාව නම් මේ සමාජයේ කාන්තාවකට වැඩක් බාර දෙන්න දෙපාරක් හිතනවා. ඒ විශ්වාසය මිනිස්සු අතර ඇති කර ගන්න එක හරිම අමාරු කාර්යයක්. ගැහැනියට මේ සමාජයේ තියෙන තැන හරිම වෙනස්.   
171/3, කොස්වත්ත, කලපලුවාව පාර, රාජගිරිය ප්‍රදේශයේ කලපලුවාව ග්‍රාමීය බැංකුව ඉදිරිපිටට යන ඕනෑම කෙනෙකුට ප්‍රියංගා මහත්මියගේ සේවය ලබාගැනීමේ හැකියාව ඇත.   


මට තව පුංචි දෙයක් කියන්නම ඕන. ඇය මගෙන් අවස්ථාවක් බලාපොරොත්තු වූවාය.   
‘‘මගේ දුව නාවල ජනාධිපති බාලිකාවේ ඉගෙන ගන්නවා. පුතා රාජගිරියේ ජනාධිපති විද්‍යාලයේ ඉගෙන ගන්නවා. කවදාවත් මගේ දරුවෝ දෙන්නට මගේ රැකියාව ගැටලුවක් වුණේ නැහැ. මම මජන් ඇඳුම පිටින් දරුවන්ගේ පන්ති ළඟට, පාසල ළඟට යනවා. ඒත් දරුවෝ දෙන්නා කවදාවත් අම්මාගේ රැකියාවවත්, මම යන විදිහටවත් එයාලට ලැජ්ජයි කියලා කියලා නැහැ. දුව නම් මම වගේ මජන් ගාගෙන වැඩ කරන්න කැමති නැහැ. පුතා නම් මේ රැකියාවට කැමතියි. පුතා නම් මට ගරාජ් එකේ වැඩවලට උදව් කරනවා. දුවත් ගරාජ් එකේ ලියන කියන වැඩවලට උදව් කරනවා. මගේ එකම බලාපොරොත්තුව දරුවෝ දෙන්නාට හොඳ අධ්‍යාපනයක් දීලා සමාජයේ ඉහළ තැනකට ගෙනියන්න.   


ගොඩක් දෙනා මට කතා කරන්නේ කලපලුවාවේ A/C අක්කා කියලා. මම කරන වැඩේ අවංකව කරනවා. මිනිස්සුන්ට වංචා කරන්නේ නැතුව කරන දේ හරියට කළොත් අපේ ළඟට විශ්වාසයෙන් මිනිස්සු එනවා. නිදි මරාගෙන හරි මගේ ළඟට එන වැඩ අවංක වෙලා මම කරනවා. මගේ අරමුණට යන්න පහසු වුණේ ඒ නිසයි.   
මාත් ආසයි මගෙන් පස්සේ මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ බිහි වෙනවා නම්. තරුණ, මැදි වියේ කාන්තාවන් ඉන්නවා නම් කාර්මික අංශයෙන් රැකියාවක් කරන්න පුහුණු කරන්න මම කැමතියි. ඒ අයට අත දෙන්න. මගේ වැඩපළේ ඒ අයට පුහුණුවීමේ පහසුව සලස්සන්න මට පුළුවන්කම තියෙනවා යැයි අවසාන වශයෙන් ඇය පැවසුවාය.

 

 

නදීශා අතුකෝරළ