වඩු ආරච්චි හැදූ ලොව විශාලතම ඝණ්ඨාර තොරණ


ගාලු දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති සුනන්දාරාම මහා විහාරය ප්‍රදේශවාසීන් හඳුන්වනු ලබන්නේ මහ පන්සල ලෙසයි. ගාලු කොළඹ මාර්ගයේ අම්බලන්ගොඩ බස් නැවතුම් පොළේ සිට ගාල්ල දෙසට මීටර් 500 ක දුරක් විත් වම් දිශාවට හැරුණ විට මහා විහාර පාර මුණ ගැසේ. එය අවසන් වන්නේ මහා විහාරයට පිවිසෙන දොරටුව අභියසයි. අම්බලන්ගොඩ සහ අවට පිහිටා ඇති විහාරස්ථාන අතුරින් ඉතාමත් අලංකෘත දැකුම්කලු සන්සුන් පරිසරයක් ඇති විහාරස්ථානය අම්බලන්ගොඩ සුනන්දාරාම විහාරස්ථානයයි. 

 

මෙම විහාරස්ථානය නිසා එදා මුළු දකුණු ලකේම බෞද්ධ පුනර්ජීවයක් සිදුවී ඇත. මෙහි නිර්මාර්තෘ සහ පළමු අධිපති ධූරය උසුලා ඇත්තේ විලේගොඩ පුඤ්ඤසාර නා හිමියන් විසිනි. අමරපුර නිකායේ මූලස්ථානය වශයෙන් හඳුන්වන මෙම විහාරය සුදු වැලි ඇතුරූ මළු දෙකකින් සමන්විතය. බෝධීන් වහන්සේ චෛත්‍ය රාජයා සහ බුදු මැඳුරු දෙකක් උඩ මලුවේ පිහිටා ඇති අතර සීමා ගෘහය ධර්ම ශාලාව ආවාස දාන ශාලාව සහ ඝණ්ඨාර කුලුන පහත මලුවේ පිහිටා ඇත. 
 
උඩ මළුවේ පිහිටා ඇති ප්‍රධාන බුදුමැදුරේ ගල් උලුවස්සේ දොරවල් දිරාපත් වී ඇති අතර දැනට ඇති දොරවල් ජුවන්වඩු ආරියපාල මහතා විසින් කරවන ලද්දකි. මෙහි ඇතුළත පිංතාරුකර ඇති බිතු සිතුවම් සියල්ලම දැනට අබලන්වී ඇතත් එදා මෙම බිතු සිතුවම්වල ඇති පෞරාණික වටිනාකම දැනගත් ඇල්.ටී.පී. මංජු ශ්‍රී මහතා මේවා පිටපත් කර ගන්නා ලදී. සංරක්ෂණය කර ඇති සමහර බිතු සිතුවම් චිත්‍ර කලාව හදාරන්නවුන්ට ඉතාමත් වැදගත් වන බව පෙනේ. බුදු දහමේ පැවත එන ජාතක කතා වස්තූන් කීපයක්ද චිත්‍රයට නඟා ඇති අතර අකුසල් කරන අය අපායේ ඉපිද යම රජු සහ යමපල්ලන්ගෙන් විඳිනා දුක්, කටු ගසේ නැඟීම වැනි දර්ශන ඉතාමත් ආදර්ශවත් ලෙස චිත්‍රයට නඟා ඇත. 
 
උඩමළුවේ තනා ඇති දෙවන බුදු මැදුර එක්දහස් අටසිය ගණන්වල තනා ඇති අතර එහි තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමාව බුරුම රටෙන් ලද පරිත්‍යාගයක් වේ. එම පිළිම ගෙයද පැරණි බිතු සිතුවම් කලාවෙන් ඔපවත්වී ඇත. 
 
පුරාණ ගල් කුලුනු වලින් සහ මල් ආසන වලින් වටවී ඇති ඝණ්ඨාකාර හැඩයෙන් යුතුව තනා ඇති චෛත්‍යයේ සර්වඥධාතූන් වහන්සේලා නිධන් කර ඇත. 
 
පහත මලුවේ ක්‍රි.ව. 1846 තනා නිම කර ඇති ධර්ම ශාලාවේ ධර්මාසනය මුළු දිවයිනේ කිසිම විහාරස්ථානයක සොයා ගත නොහැකි විශ්මිත කැටයම් සහිත කුලුනු සතරකින් සමන්විත වේ. පැරණි වාස්තු විද්‍යාවට අනුකූලව නිමවා ඇති සීමාගෙය දෙමහල් ගොඩනැඟිල්ලකි. සුනන්දාරාමයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරනුයේ මෙහි පහත මහලේය. මෙහි උඩු මහලේ ඉතාමත් වටිනා පෞරාණික පොත් සිය ගණනකි. පැරැන්නන් විහාරස්ථානයට පූජා කරන ලද වටිනා පූජා භාණ්ඩ රාශියකි. පැරණි දායක සභාවන්වල දායක මණ්ඩලවල දායක මහතුන් පරිහරණය කරන ලද පොත්පත් විශාල සංඛ්‍යාවක් මේ තුළ තැන්පත්ව තිබේ. 
 
ස්වාමීන් වහන්සේලා වැඩ වසන ආවාස ගෙය දාන ශාලාව වැනි දෑ පහත මහලයේ තනා ඇත. 
මහා පන්සල නමින් ප්‍රදේශවාසීන් විසින් හඳුන්වන සුනන්දාරාම මහා විහාරයේ වාස්තු විද්‍යා ශෛලීන් සහ කලා නිර්මාණ සමකාලීන පුරාණ විහාරස්ථාන හා සැසඳීමේදී සමාන කමක් දැක්වුවත් කිසිදා නොවූ විරූ එක් වාස්තු විද්‍යා නිර්මාණයක් හේතුවෙන් අම්බලන්ගොඩ සුනන්දාරාමය සුවිශේෂී වෙයි. 
 
එනම් ලොව මොන තැනකින්වත් සොයාගත නොහැකි විශ්වකර්ම නිර්මාණයක් බඳු සුවිසල් ඝණ්ඨාර තොරණක් මෙහි නිර්මාණයවී තිබීමයි. 
 
විහාරස්ථානයෙහි ප්‍රධාන පිවිසුමෙහි ඉදිකර ඇති මෙහි උස අඩි 100ක් වන අතර පළල අඩි 50ක් වේ. 1876 දී ප්‍රථම වරට ජුවන්වඩු එදෝරිස් ද සිල්වා මහතාගේ සැලැස්මක් අනුව මෙහි ඉදිකිරීම් ආරම්භ කර ඇති බව සුනන්දාරාම මහා විහාරයේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කළ ජිනේද්‍රවංශ ද සිල්වා මහතා පෙන්වා දෙයි. නමුත් පැරැන්නන්ට අනුව මෙහි නිර්මාතෘවරයා වනුයේ එන්දෝරිස් ද සිල්වා මහතාගේ පුත් ජුවන්වඩු ඔන්දිරිස් ද සිල්වා වඩු ආරච්චි මහතාය. 
 
මෙම ඝණ්ඨාර කුලුන ආරුක්කු ආකාර දොරටුවකින් සමන්විතව පන්සලේ ප්‍රධාන පිවිසුමෙහි ඉදිකර ඇත. ආරුක්කුව දෙපස විශාල මුර රූප දෙකකි. එයට ඉහළින් සිංහ රූප දෙකක් දැක්වෙයි. සමකාලීනව ලාංකීය කලාවට බලපෑ විදේශීය ආභාෂය මෙම සිංහ රූප තුළින් විද්‍යමාන වෙයි. ආරුක්කුවට ඉහළින් ඉදිරියට නෙරා සකස් කර විචිත්‍ර මල්ලියකමින් යුතු සාම්ප්‍රදායික මකර තොරණක් මූර්තිමත් කර ඇත. එයට පිටුපසින් ප්‍රධාන තොරණ නිර්මාණය කර ඇත. එය මහල් සතරකින් යුක්තය. පළමු මහලට නැඟීම සඳහා තොරණේ පිටුපසින් ගල් සහ හුණු බදාමෙන් නිම කර ඇති පිය ගැට පෙළ දෙකක් වේ. එහි අත්වැල් ඉතාමත් අලංකාර කැටයමින් නිමාකර ඇත. ඒ වගේම පළවැනි මහලේ සිට දෙවන මහලටත්, දෙවැනි මහලේ සිට තෙවැනි මහලටත් පිවිසිය හැකි ලෙස ඉනිමං තනා ඇත. තෙවැනි මහලේ හොණ්ඩර පහක් පමණ බර පස්ලෝවලින් නිර්මාණය කර ඇති දැවැන්ත ඝණ්ඨාරය සවිකර ඇත. එය නාද කරවීම සඳහා අතින් කරකැවිය හැකි සුක්කානමක් සකස් කර ඇත. ඝණ්ඨාරය සහිත තුන්වැනි මහලේ අශ්වයකු පිට නැගි බෝසත් රූපයක් නිර්මාණය කර ඇත. ඉහළම මහලය තුළ ශ්‍රී පතුල කැටයම් කර ඇති අතර එයට ඉහළින් සතර දිශාවට සමාන ලෙස ලියවැලින් මූර්තිමත් කරවූ විචිත්‍ර කොත් සවිකර තිබේ. 
 
1876 ආරම්භ කර ඇති මෙම ඝණ්ඨාර තොරණ සඳහා මුදල් එක් රැස් කර ගැනීමට එදා ජී. බී. වත්තුහාමි නම් කවියා ආධාර එකතු කිරීම සඳහා රචනාකර ප්‍රසිද්ධ කරවන ලද “ඝණ්ඨාර තොරණේ විසිතුරු අලංකාරය” නැමැති කවි පොතේ මෙයාකාරයෙන් වර්ණනා කර ඇත. 
 
 
කරමින් විස්කම් පෑවා සේමයි තොරණේ වැඩ කරගෙන යන්නේ 
දෙපසින් බැම්මක් ඔසවා ගෙන ගොස් බෝක්කුවෙන් ඇතුළට යන්නේ 
එතනින් ඉහළට මහලෙන් මහලට මාල සතරකට බෙද මින්නේ 
බඳිමින් ගඩොලින් බැම්මේ තැන තැන සොල්දර දැම්මා විලසින්නේ 
 
සමහරු පොල්ගස් එක එක දීලා තොරණේ වැඩපල කර වන්නේ 
සමහරු කලගෙඩි හාල් පුදාලා ඝණ්ඨාරේ වැඩ කර වන්නේ 
සමහරු රුපියල් හත අට දීලා දෙන්ට නැතුව තව ලත වන්නේ 
සමහරු පොහොසත් යයි පිටිපාලා උරුමේ නැත කරුමෙට උන්නේ 
 
 
ඉතා ආශාවෙන් සහ උනන්දුවෙන් මෙය නැරඹීමට පැමිණෙන විදේශිීය සංචාරකයින් ලෝකයේ කිසිම තැනක මෙවැනි විසිතුරු කැටයම් සහිත ඝණ්ඨාර කුලුනක් තමන් නෙත නොගැටුණු බව පවසන්නේ විශ්මයෙනි. බර්ලින් විශ්වවිද්‍යාලයේ මානවවිද්‍යා මහාචාර්යවරයෙකුවූ වුල්ෆගන් මෛයි මහතා ජර්මන් ජනරජයේ කෞතුකාගාර නිලධාරියෙකු වශයෙන් ලංකාවට පැමිණ සති 3ක පමණ කාලයක් අම්බලන්ගොඩ ප්‍රදේශයේ නැවතී මෙම ඝණ්ඨාර කුලුන ගැන අධ්‍යයනයක් කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජර්මන් පල්ලියක අනුග්‍රහයෙන් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කරවීමට කැමැත්ත ප්‍රකාශ කර සිටින ලදී. කෙසේ හෝ එය ක්‍රියාත්මක නොවූයේ එම පන්සලේ දායක සභාව එයට විරුද්ධවූ නිසාය. 
 
වල් බිහිවී අභාවයට යමින් පැවති මෙම විශ්මිත නිර්මාණය අම්බලන්ගොඩ සැදැහැවත් පිරිසකගේ මැදිහත් වීමෙන් 1988 දී මූලික ප්‍රතිසංස්කරණ ආරම්භ කරන ලදී. එයින් පසු වර්තමාන දායක සභාවේ මැදිහත් වීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිල්පීන් ලවා මෙම නිර්මාණය යථා තත්ත්වයට ප්‍රතිසංස්කරණය කරමින් පවතී. 
 
2010 ජාතික පුරාවිද්‍යා සතිය නිමිත්තෙන් දකුණු පළාත් ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාංශය මඟින් සංවිධානය කෙරුනු විශේෂ වැඩමුළුවක් දකුණු පළාත් මහ ඇමතිතුමාගේ මූලිකත්වයෙන් 2010 ජූලි 22 දින මෙම ස්ථානයේ පැවැත්වූ අතර මෙම වැඩමුළුවට එක්වූ එවකට සිටි පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහතාද විශේෂ දේශනයක් පවත්වන ලදී. 
 
 
හද්‍රානන්ද විජේසූරිය