ලෝකයේ ලොකුම බැංකුව හැදූ ඇමරිකාවේ මෝගන්


 

  • මුලින් වැඩ කළේ තාත්තාගේ බැංකුවේ ලිපිකරුවකු ලෙසය
  • 1912 ටයිටැනික් නැවේ සංචාරයට සහභාගි වීමට ටිකට් පවා වෙන්කර ගෙන සිටියා. එහෙත් ඒ ගමන වැළකීම නිසා මෝගන්ගේ ජීවිතය ගැලවුණා
  • අද ජේ.පී. මෝගන් චේස් ඇන්ඩ් කම්පැණි යනු ලොව බලවත්ම පෞද්ගලික අංශය සතු මූල්‍ය සමාගමකි

මේ දිනවල අප රටේ බොහෝ දෙනාගේ අවධානය සමස්ත බැංකු පද්ධතිය ගැන යොමුවී ඇති මොහොතක ලෝකයේ පොහොසත්ම පෞද්ගලික බැංකුව සහ එය බිහිකළ අපූරු මිනිසා ගැන මෙන්ම ඔහු ලෝකයට දායාද කළ සමාගම් ගැන විස්තර ගෙන ඒමටයි අද අපේ සූදානම. ජේ. පී. මෝගන් යන නාමය ලෝක බැංකු ක්ෂේත්‍රයට වඩා බලපෑමක් කළ නාමයකි. මේ මිනිසා ජීවත් වූයේ 1837 සිට 1913 දක්වා වූ කාලයේදීය. නමුදු ඔහු බිහිකළ ජේ. පී. මෝගන් සමාගම සහ බැංකු පද්ධතිය යනු ලොව වඩා ධනවත් ආයතනයකි. ලෝකයට නව සංකල්පයක්, නව ව්‍යාපාර දැක්මක් ගෙනා මිනිසකු ලෙස මේ ජේ. පී. මෝගන් නම් කළ හැකිය. තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය සොයා ගත්තද එය ආලෝකවත් කරවීමට දායකයා ද වූ තවත් අපූරු මිනිසකු ලෙසද මෙම ජේ. පී. මෝගන් සඳහන් කළ හැකිය. පසුකාලීනව ඇමරිකාවේ ස්ථාපිත වූ ජේ.පී. මෝගන් චේස් ඇන්ඩ් කම්පැනි යනු නව පරම්පරාවේ සංකල්පයෙන් බිහිවූ බැංකු පද්ධතියක් වන අතර එය ඇමරිකාවේ මෙන්ම ලෝකයේ පෞද්ගලික බැංකු අතරින් බලවත්ම බැංකුව ලෙස හැඳින්වේ. මෙම විස්තර ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය ඔස්සේ අද අපි කියවමු.   

ජෝන් පයර්පොන්ට් මෝගන්    


ජේ. පී. මෝගන් යන කෙටි නාමයෙන් හැඳින්වෙන ඔහුගේ සම්පූර්ණ නාමය වන්නේ ජෝන් පියර්පොන්ට් මෝර්ගන්ය. මෝගන් උපන්නේ 1837 අප්‍රේල් 17 වැනිදා හාට්ෆෝර්ඩ් කනෙක්ටිකට් හිදීය. මෙම පළාත හැඳින්වෙන්නේ නව එංගලන්ත කලාපයක් වශයෙනි. එදා එලෙසින් හැඳින්වූ මෝගන් ඔහුගේ ළමා කාලය ගෙවා දැමුවේ එහිදීය. බැංකුකරුවකු මෙන්ම මූල්‍ය ක්ෂේත්‍රයේ එවකට ප්‍රකටව සිටි ජුනියස් ඩිපෙන්සර් මෝගන් ඔහුගේ පියා විය. ජුලියට් පියර්පොන්ට් ඔහුගේ මවගේ නාමයයි. ​මෝගන් පවුලේ උදවිය දැන උගත්තු කරවීමට ජෝන් පියර්පොන්ට්ගේ පියාව සිටි ජුනියස් ස්පෙන්සර් හොඳ සැළැස්මක් දියත්කර තිබිණි. මෙනිසා මෝගන් පවුලේ දරුවන් සියලු දෙනා හොඳ අධ්‍යාපනයක් ලැබූ බව සඳහන් කළ හැකිය. සල්ලිකාර පවුලක් වූ බැවින් ජෝන් පියර්පොන්ට් හට හොඳ අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් ඔහුගේ පියා පියර්පොන්ට්ව ලන්ඩනයට සහ ජර්මනිය මෙන්ම ස්විට්සර්ලන්තය වෙතද යැවීමට කටයුතු කළේය. ඉතිහාසය සහ කලා අංශයෙන් උපාධිධරයකු වූ පියර්පොන්ට් බැංකු ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ 1857 දී පමණ ඔහුගේ පියාට අයත්ව තිබූ ලන්ඩනයේදී පවත්වාගෙන ගිය බැංකු ශාඛාවේ සේවයට එක්වීමෙනි. ඔහු එහි සේවය කළේ ලිපිකරුවකු ලෙස යැයි සඳහන් වේ.

  
ජේ. පී. මෝගන් ඇන්ඩ් කම්පැණි   


ජේ.පී. මෝගන් සහ සමාගම ස්ථාපිත කිරීමට ජෝන් පියර්පොන්ට් මෝගන් හට හැකිවූයේ 1871 දීය. වාණිජ හා ආයෝජන මූල්‍ය ආයතන කීපයකින් මෙම ජේ.පී. මෝගන් කම්පැනිය සමන්විත විය. ජේ.පී. මෝගන් චේස්, මෝගන් ස්ටැන්ලි, ඩච් බැන්ක් (මෝගන් ග්‍රෙන්ෆෙල් සතු) යනු ලෝකයේ ප්‍රමුඛතම ආයෝජන මූල්‍ය ආයතන ත්‍රිත්වයකි. පියාගේ බැංකු ආයතනයක ලන්ඩනයේ සිට ලිපිකරුවකුව ජීවිතය පටන්ගත් මෝගන්, මෙලෙසින් තමාගේම සමාගම බිහි කිරීමට පෙර මූල්‍ය ආයතනයක හිමිකරුවකුගේ දියණියක වූ අමේලියා සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන ගියේය. මෝගන් ඇයට අසීමිතව ආදරය දැක්වූ පෙම්වතකු විය. දෙදෙනා පෙමින් වෙලී සිටියදී අමේලියා ක්ෂය රෝගයෙන් පෙළෙන බව දැනගත් පසු මලින් පිරි උයනක්ව තිබූ ඔවුනගේ ආදර උයන පාළු සොහොනක් බවට පත්වූයේ නිමේෂයකිනි. ඒත් මෝගන් යනු වචනයක් කිව්වොත් ඒ වචනෙ ආයෙ වෙනස් කළ චරිතයක් නොවීය. ‘ඔයාට මේ ලෙඩේ ඉක්මනට සුවවේවි’ යැයි මෝගන් අමේලියාගේ හිස අත ගා ඇය සිප වැළඳ ගනිමින් කියා සිටියේය.   


අමේලියාගේ ජීවිතය බේරාගැනීමට මෝගන් ඔහුට කළ හැකි සියලු උත්සාහයම දැරුවද ඒ සියලු ප්‍රයත්නයන් සුන් වූයේ අමේලියා ජීවිත ගමනට සදහටම සමුදුන් නිසාය. ඇයගේ වියෝව, මෝගන් හට ගෙන දුන්නේ දැඩි කම්පනයකි. සමහර සල්ලිකාර චරිත යනු කාන්තා ඇසුරට බෙහෙවින් ලොල් වූ චරිත වුවද, සූදුවට, සුරාවට ලොල් වූ චරිත වුවද මෝගන් එවැනි සල්ලිකාරයෙකු නොවීය. ඔහුට තිබුණේ පරම පිවිතුරු ප්‍රේමණීය බැඳීමක්ම විය.   


තරුණ ව්‍යවසායකයකු ලෙස මෝගන්, දෙවසරක් යන තෙක් කිසිදු ප්‍රේමයක නොගැලී ඔහුගේ ව්‍යාපාර ගැන පමණක් ඉලක්ක කරගෙන කටයුතු කරගෙන ගියේය.   


පුතා මේ අහන්න. ඔයා අපරාදේ ඔයාගෙ තරුණ වයස මේ විදියට ගත කරන්නේ. ආයෙත් විවාහයක් කර ගන්න. මම කැමති නැහැ ඔයා ජීවිතයේ තනි වෙනවට. මෝගන්ගේ පියා වූ ජුනියස්, එලෙසින් ඔහු හට බලකර සිටියේය. මේ නිසාම එකල සිටි ප්‍රකට නීතිඥවරයකුගේ දියණියක වූ ෆ්‍රාන්සස් ලුයිසා සමග සබඳතාවක් ඇතිකර ගත් අතර පෙර විවාහය ගැන එනම් අමේලියා මිය යාමට පෙර ඔහු විවාහ වූ වග ලුයිසා හට පවසා සිටියේය. ඔයා කොච්චර හොඳ ආදරණීය කෙනෙක්ද? එදා එයාගේ අසනීපය දැනගෙන ඕනෑ නම් ඔයාට එයාව විවාහ කර නොගෙන ඉන්නත් තිබුණනෙ. ඒත් එයා මැරෙන්නට පෙර ඔයා එයාව විවාහ කර ගත් නිසා අමේලියා හරි සතුටින් මැරෙන්න ඇති. ඇයට හොඳම හොඳ පෙම්වතකු හමුවූ නිසා යැයි අලුත් පෙම්වතිය, මෝගන් ගැන හොඳ වර්ණනාවක් කළාය. ලුයිසා ෆැනී ට්‍රේසි වූ ඇය සහ මෝගන් අතර විවාහය සිදුවූයේ එනම් මෝගන්ගේ දෙවැනි විවාහය සිදුවූයේ 1865 මැයි මාසයේදීය. දරුවන් සතර දෙනකුගේ ආදරණීය මව්පිය යුවළ මේ මෝගන් පවුලම විය. පසුකාලයක මෝගන් පවුලේ උරුමය රැගෙන ව්‍යවසායකත්ව ඉදිරියට ගෙන ගියේ මේ දෙපළගේ පුතු ජැක් හෙවෙත් ජෝන් පියර්පොන්ට් මෝගන් (කනිෂ්ඨ) පුතුය.   


1871 දී මෝගන් තවත් ප්‍රකට බැංකුකරුවකුව සිටි ඇන්තනි ඩ්‍රොක්සෙල් සමග ව්‍යාපාර ගිවිසුම්ගත වූයේ නව ව්‍යාපෘතියක් ඇරඹීම වෙනුවෙනි. එහෙත් ඇමරිකානු ඉතිහාසයේ දුම්රිය බැඳුම්කර ගනුදෙනුව ලෙස හැඳින්වෙන ඩොලර් මිලියන 40ක ගනුදෙනුවට ගිවිස ගත්තේ නිව්යෝර්ක්හි ප්‍රධාන දුම්රිය ප්‍රවාහයේ අනුමැතිය යටතේය.  


එලෙසින් ජේ.පී. මෝගන් යනු බැංකුකරණයට අමතරව, වානේ සමුද්‍ර (මුහුදු ආශ්‍රිත) අංශ ඇතුළු විවිධ අංශ ඔස්සේ තම ව්‍යවසායකත්වයේ බල පරාක්‍රමය දිනෙන් දින පුළුල් කරමින් ව්‍යාපාරික ලෝකයේ අණසක පැතිරවීමට සමත්විණි.   


මෝගන් යනු එකතකට හරි පුදුම මිනිසෙක් විය. ඔහු ඔහුගේ දැනුම නුවණ ව්‍යාපාරික ක්ෂේත්‍රයට පමණක් යොමු කළ අතර හොඳ පවුල් ජීවිතයක් ගත කිරීමට උනන්දු වූ අයෙක් විය. ඇමරිකානු ඉතිහාසයේ ව්‍යාපාර මෙන්ම පවුල් ජීවිතයද සාර්ථක කරගත් මිනිසා ඔහුම යැයි අදටද බොහෝ දෙනා විශ්වාස කරන දෙයකි.   
නිකොලා ටෙස්ලා සමග එදා ඔහු එක්ව සිටියේ සේලාගේ නව සොයා ගැනීම් ව්‍යාපතියට උදව් වීම වෙනුවෙනි. නව තාක්ෂණය උපයෝගී කර ගනිමින්, නවෝත්පාදන බිහි කිරීම මෝගන්ගේ අභිප්‍රාය වුවද ඒ වෙනුවෙන් මූල්‍ය පහසුකම් ටෙස්ලා හට ලබා දුන්නද මෝගන් හට එම ව්‍යාපෘතිය අතර මග නවතා දැමීමට සිදුවිණි.   
පසු කලෙක ලන්ඩනයේ උමං දුම්රිය පද්ධතිය වෙනුවෙන් ආයෝජනය කිරීමට මෝගන් උනන්දු විණි. ඒ 1902 දීය. එහෙත් ප්‍රතිවිරුද්ධ කුමන්ත්‍රණ මත මෝගන්ගේ එම ව්‍යාපෘතියද අසාර්ථක වුණි.   


මුහුදු හා නාවික ක්ෂේත්‍රයටද අවතීර්ණ වී ව්‍යාපෘති ඉදිරිපත් කිරීමට සමත් වුවද, මෝගන් හට එම ව්‍යාපෘතියද ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. එහෙත් යුරෝපයට බෙහෙවින් ආදරය කළ මෝගන් ඒ සියලු දේ වෙතින් නොසැලී ඔහුගේ ව්‍යවසායකත්වයේ ගමන සාර්ථකව දිගටම කරගෙන ගියේය.   


එවකට ඔහු ජීවත් වූ නිව්ෙ‌යා්ර්ක්හි මාළිගය යනු ඇමරිකාවේ විදුලිය හෙවත් විදුලි ආලෝකකරණයෙන් ආලෝක කරවූ ප්‍රථම මාළිගය ලෙස හැඳින්වේ. විදුලි බල්බය සොයා ගත් තෝමස් අල්වා එඩිසන් සමග හොඳ මිත්‍රත්වයක් තිබූ මෝගන් හට එනිසාම තම ධන බලය යොදාගෙන ඔහුගේ මාළිගය එලෙසින් ප්‍රථම වරට ආලෝකවත් කරවීමට හැකිවිණි. එය මොන තරම් නම් ආශ්චර්යයක් වන්නට ඇතිද?   


අද ඊලෝන් මස්ක් ගැන ලෝකය කතා කරන්නෙ ටෙස්ලා නිසාය. එහෙත් අතීතයේදී සැබැවින්ම ටෙස්ලා ව්‍යාපෘතියට මුදල් යෙදූ ප්‍රථමයා මේ ජේ.පී. මෝගන්ය. 

 
1893 සහ 1907 කාලයේදී ඇමරිකානු සමස්ථ බැංකු පද්ධතිය දැඩි මූල්‍ය කුණාටුවකට නතුවිණි. එහිදී නොවැටී සිටි එකම මිනිසා මෙන්ම බැංකුකරුවා වූයේ මෝගන්ය. එදා ඇමරිකානු ආර්ථිකය බිංදුවට නොවැටී එය අල්ලාගෙන සිටීමට ජේ.පී. මෝගන් ලබා දුන්නේ මහා ශක්තියකි.   
ජේ.පී. මෝගන් යනු ලෝකයේ විවිධ කලාකෘතිවලට පෙම් බැඳි චරිතයක් වුණි. කොහොමටත් ලෝකයේ බොහෝ ධනවතුන්ගේ වි​නෝදාංශයක් ලෙස වටිනා කලාකෘති එකතු කිරීම සඳහන් කළ හැකිය. මෝගන් සතුව ලෝකෙටම එකක් පමණක් ලෙස නිර්මාණය වූ චිත්‍ර මෙන්ම කලාකෘති රැසක් තිබිණි. එවකට එහි වටිනාකම ඩොලර් මිලියන 50ක් පමණ විය. පසුව ඔහු සතුව තිබූ මේ සියල්ල ජේ.පී. මෝගන් කෞතුකාගාරයේ සහ පුස්තකාලයේ (ඔහු විසූ මන්දිරයේ) ප්‍රදර්ශනයට තබා ඇත.   


මෙලෙසින් චිත්‍රවලට සහ ඡායාරූපවලට ආසා කළද මෝගන් යනු කැමරාව ඉදිරියේ කිසිදු විටෙක පෙනී සිටීමට අකැමැති වූ චරිතයක් විය. 

 
එනිසාම මෝගන්ගේ ඡායාරූප ගැනීම දුර්ලභ අවස්ථාවක් බවට පත්ව තිබිණි. එක්තරා අවස්ථාවක ඔහුගේ ඡායාරූපයක් ගන්නට ඡායාරූප ශිල්පියකු හට හැකි වූ අතර මෝගන් ඔහු දෙස බැලුවේ තද බල කේන්තියකිනි. එකී ඡායාරූපය එකල සමාජය කතා කළ මාතෘකාවක් විය.   


1912 දී ජේ.පී. මෝගන් ධනවතුන් රැසක් සංස්කෘතියට එක්ව සිටි ටයිටැනික් නැවේ සංචාරය යාම සඳහා ප්‍රවේශ පත්‍රය පවා ලබාගෙන සිටියද, දෛවයේ හාස්කමකට මෙන් එම ගමන යාමට ඔහු හට නොහැකි විය. ගියේ නම් ඔහුද මළවුන් අතර වීමට තිබුණි. ඒත් අකලට මිය නොගොස් දෛවය ඒ ගමන වෙනස් කරන්නට ඇත්තේ මෝගන් ඇමරිකානු ආර්ථිකය ගොඩනැගීමට පුරෝගාමීව කටයුතු කළ චරිතයක් වූ නිසා විය හැකිය.  


ජේ.පී. මෝගන් මිය යනවිට ඔහු සතු පුද්ගලික ධනයෙහි වටිනාකම ඩොලර් බිලියන ගණනක් ලෙස සඳහන් වුණි.   


ජේ.පී. මෝගන් අද ජීවතුන් අතර නොවේ. එහෙත් එදා ආරොන් බර්, බලිනසාර් මෙලික්, ජෝන් තොම්සන් සමග එක්ව ස්ථාපිත කළ සමූහය 2000දී නව්‍යකරණය වී අලුත් සමාගමක් වූයේ ජේ.පී. මෝගන් චේස් යනුවෙනි. අද එදාටත් වඩා දියුණුවෙන් දියුණුවට ගිය මූල්‍ය සමූහයකි. 2022 මෙහි සමස්ථ වත්කම ඩොලර් බිලියන 372.79 ලෙස සඳහන් වේ. එනම් ට්‍රිලියන තුනකට වඩා වැඩිය. ලෝකයේ විශාලතම මූල්‍ය සමාගම මෙය යැයි සඳහන් වේ.

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ  
[email protected]